වෙසුවියස්ගේ සෙවනේ අවසන් හුස්ම!
“ඒ දවසත් පොම්පෙයි නගරයට සාමාන්‍ය දිනයක් ලෙසම ආරම්භ විය. වෙළඳපොළවල් ජනතාවගෙන් පිරී තිබුණි. දේවාලවල යාච්ඤා ඇසුණි. මිනිසුන් තමන්ගේ හෙට දවස ගැන සිහින මවමින් ජීවත් වූහ. නමුත්, ඔවුන් කිසිවෙකුත් දැන සිටියේ නැහ පැය කිහිපයකින් මුළු නගරයක්ම අළු සහ ගිනි යට සදාකාලිකව වැළලී යන බව.”
***
මේ ලිපිය, @TEDEd යූටියුබ් චැනලයේ Run, sail, or hide? How to survive the destruction of Pompeii – Gary Devore වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.
Cover image credit goes to readingpublicmuseum.org
***
පොම්පේයි නුවර අවසන් හෝරා කිහිපය
එදින රෝම අධිරාජ්‍යයට අයත් පොම්පේයි නුවර ඉතා කාර්යබහුල දිනයකි. වීදි පුරා ඇසෙන මිනිස් හඬවල් සහ වෙළඳාම් කටයුතු මැද ෆේබියා (Fabia) සිය පවුලේ අභිවෘද්ධිය පතා වෙනස්ම ගමනක නිරත වූවාය.
ෆේබියා එදින උදෑසනම පැමිණියේ වීනස් දෙවඟනගේ දේවාලයටයි (Temple of Venus). ඇය එහිදී පරෙවියෙකු පූජා කරමින් දේවියගෙන් ඉල්ලා සිටියේ තම ආදරණීය සොහොයුරාගේ ඉදිරි විවාහ මංගල්‍යයට ආශිර්වාදය ලබා දෙන ලෙසයි. පූජාවෙන් පසු වෙළඳපොළට ගොස් ආපසු එන අතරතුර, ඇයට තම සහෝදරයන් දෙදෙනා වන ලූසියස් (Lucius) සහ මාකස් (Marcus) ෆෝරමය (Forum) හරහා ගමන් කරනු දැකගත හැකි විය.
එදින උදෑසන කාලය පුරාම සහෝදරයන් දෙදෙනා වෙහෙස වී වැඩ කර තිබුණි.
- මාකස්: දක්ෂ ශිල්පියෙකු යටතේ අලංකාර මොසැයික් (Mosaic) බිමක වැඩ නිම කර තිබුණි.
- ලූසියස්: ගඩොල් මළුවක (Brickyard) බර වැඩ කරමින් සිටියේය.
වසර 17කට පෙර පොම්පේයි සහ හර්කියුලේනියම් (Herculaneum) නගර සලිත කළ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, නගරයේ තවමත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පවතී. රජ මාලිගා මෙන්ම සාමාන්‍ය නිවාසද අලුත්වැඩියා වෙමින් තිබුණි.
නොසලකා හල අනතුරු ඇඟවීම්
වැඩ නිමවා පොදු නාන තටාක වෙත (Public baths) විවේක ගැනීමට යමින් සිටි සොහොයුරන් දෙදෙනා ෆේබියා සමඟ මෑතක සිට නිතර දැනෙන භූ චලන ගැන කතා කළහ. ලූසියස් ඒ ගැන සිනාසෙමින් පැවසුවේ, පොම්පේයි නුවර බිත්ති බඳින මිනිස්සුන්ට නම් කවදාවත් වැඩ අඩුවක් වෙන්නේ නැහැ යනුවෙනි.
ඔහුගේ සිතේ තිබුණේ හෙට දින පවත්වන්නට නියමිත තම විවාහ මංගල්‍යය පිළිබඳ සිහිනය පමණි. සිය පෙම්වතිය හෙවත් සොපොන්සා (Sponsa) සමඟ අතගැන්මට ඔහු මහත් නොඉවසිල්ලෙන් පසු විය.
බලාපොරොත්තු සුන් කළ මහා පිපිරුම
එහෙත්, ඔවුන්ගේ සුන්දර කතාබහ එක්වරම නතර විය. මුළු නගරයම දෙදරුම් කවමින් ඇසුණු මහා බිහිසුණු හඬක් සමඟින් අහස අඳුරු වන්නට විය. වෙසුවියස් කන්දේ මුදුනෙන් දුමාරය, අළු සහ ගිනිබෝල අහස සිසාරා විහිදී ගියේ මුළු නගරයම මරණයේ සෙවනැල්ලෙන් වසා දමමිනි. තමන් මෙතරම් කල් ජීවත් වී ඇත්තේ නිදා සිටින මාරාන්තික ගිනිකන්දක් අසල බව එම සහෝදර සහෝදරියන් තිදෙනා වටහා ගත්තේ තම ජීවිතයේ අවසන් තත්පර කිහිපයට මුහුණ දෙමිනි.
අළු සහ ගින්දර මැද ජීවිතය සෙවීම
ක්‍රිස්තු වර්ෂ 79 වසරේ එක් අවාසනාවන්ත දිනක, වේසුවියස් ගිනිකන්ද එලෙසින් අවදි විය. අහස අඳුරු වී, මරණයේ සෙවනැලි පොම්පේයි පුරවරය වෙලා ගනිද්දී, මිනිසුන් තම එකම ගැලවුම්කරුවන් වූ දෙවියන් යැදීමට පටන් ගත්හ. ඔවුන් තම ආරක්ෂාව පතා වීනස් (Venus) දෙවඟනටත්, ගිනිකන්දේ කෝපයෙන් මිදීමට වල්කන් (Vulcan) දෙවියන්ටත් කන්නලව් කළහ. නමුත් යාච්ඤාවෙන් පමණක් මරණය පරාජය කළ නොහැකි බව වැටහුණු සැණින්, සෑම අයෙකුටම තීරණාත්මක තේරීම් තුනකට මුහුණ දීමට සිදු විය:
1. ආරක්ෂිත ස්ථානයක සැඟවීම.
2. පයින්ම දකුණු දෙසට පලායාම.
3. මුහුදු මාර්ගයෙන් බටහිර දෙසට සංක්‍රමණය වීම.
ලුසියස්ගේ (Lucius) බලාපොරොත්තුව
ලුසියස් කලබලයෙන් තම නිවස දෙසට දිව ගියේය. ඔහුගේ එකම අරමුණ වූයේ තම පෙම්වතිය (Sponsa) සොයා ගැනීමයි. නමුත් නිවසට ළඟා වූ ඔහුට ඇයව සොයාගත නොහැකි විය. ඇය නැතිව පලායාම ප්‍රතික්ෂේප කළ ලුසියස්, තෙල් පහනක් දල්වාගෙන ඇය එනතුරු මාරාන්තික අළු වර්ෂාව මැද බලා සිටීමට තීරණය කළේය. ඒ වන විටත් පොම්පේයි නගරය මතට උණුසුම් අළු සහ ගිනිකඳු පාෂාණ (Pumice) පතිත වෙමින් පැවතිණි.
ෆේබියාගේ (Fabia) ගැලවීමේ තැත
තවත් පසෙකින්, ෆේබියා තම සැමියා වූ ක්ලෝඩියස් සහ දියණියන් සමඟ ආරක්ෂාව පතා නිවස තුළට වී සිටියාය. පැය කිහිපයක් ගතවන විට, ගිනිකඳු සුන්බුන්වල බර දරාගත නොහැකිව ඔවුන්ගේ නිවසේ වහලය මරලතෝනි දෙන්නට විය. තවදුරටත් එහි රැඳී සිටීම මරණයට අතවැනීමක් බව වටහාගත් ඔවුන්, වහාම නිවසින් පිටතට පැමිණියහ. ඔවුන් ගිනිකන්දෙන් ඉවතට, එනම් ගිනිකොන දෙසට ගමන් කිරීමට තීරණය කළහ. උණුසුම් අළු තට්ටු මතින්, කාර්ඩෝ මැක්සිමස් (Cardo Maximus) ප්‍රධාන වීදිය දිගේ ඇදෙන අතිවිශාල ජනකාය සමඟ එක්වෙමින්, ඔවුන් පොම්පේයි නගරයේ දකුණු දොරටුවක් සොයා සෙමින් ඉදිරියට ඇදුණහ.
මාකස් (Marcus) සහ හර්කියුලේනියම් මුහුදු තීරය
මේ අතර, හර්කියුලේනියම් නගරයේ සිටි මාකස් කෙසේ හෝ තම නිවසට ළඟා වී බිරිඳ සහ දරුවන් එක්රැස් කරගත්තේය. ඔවුන්ගේ තේරීම වූයේ මුහුදු මාර්ගයෙන් පලායාමයි. එහෙත් ඔවුන් වෙරළට ළඟා වන විට දක්නට ලැබුණේ බිහිසුණු දසුනකි. මුහුදු රළ පුරා ගිනිකඳු පාෂාණ සහ අපද්‍රව්‍ය පිරී තිබූ අතර, කිසිදු බෝට්ටුවකට වෙරළට ළඟා වීමට නොහැකි වී තිබුණි. තම දරුවන් බියට පත් නොකිරීමට උපරිමයෙන් උත්සාහ කළ මාකස් සහ ඔහුගේ පවුලේ අය, අවසානයේ ආරක්ෂාව පතා බෝට්ටු නවතා තබන ආවරණය කළ ගොඩනැගිලි (Boat docks) යටට වී මරණයත් ජීවිතයත් අතර සටනක නිරත වූහ.
සොබාදහමේ රෞද්‍රත්වය හමුවේ මිනිස් ජීවිතය කෙතරම් අසරණද යන්නට පොම්පේයි ඉතිහාසයේ මෙම කථාන්දර සාක්ෂි දරයි.
වෙසුවියස්ගේ මාරාන්තික ආගමනය
සැබෑ ව්‍යසනයේ බිහිසුණුම පරිච්ඡේදය දැන් ඇරඹී ඇත. අහස දෙසට ගිනි කඳු ද්‍රව්‍ය (Tephra) විදිනු ලැබූ මහා බලවේගය ක්‍රමයෙන් හීන වී යද්දී, ඉහළ ගිය සියලු දේ යළිත් පොළොව දෙසට කඩා වැටෙන්නට විය.
හර්කියුලේනියම් නගරය ගිලගත් මාරක රැල්ල
නොනිවෙන අළු සහ විෂ වායූන්ගෙන් පිරුණු මාරක රළක් (Pyroclastic surge) නගරය දෙසට ඇදී එන්නට විය. මෙහි පළමු රැල්ලෙන් හර්කියුලේනියම් (Herculaneum) නගරය මුළුමනින්ම වැසී ගියේය. හරියටම තවත් පැයකට පසු, ඉන් තුන් ගුණයක ප්‍රබලත්වයකින් යුත් තවත් රළක් නගරයේ ඉතිරිව තිබූ ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කර දැමීය. මේ වන විටත් එම මාරක වායු රළ පොම්පේයි නගරය වෙත ළඟා වී නොතිබුණද, උණුසුම් සල්ෆර් වායුවෙන් පිරුණු වාතය නිසා නගරයේ ගොඩනැගිලි ගිනිගෙන දැවෙන්නට විය.
ලුසියස්ගේ මරණාසන්න සටන
මේ භීෂණය මධ්‍යයේ ලුසියස් (Lucius) තමා සැඟව සිටි කුඩා කාමරයෙන් (Closet) එළියට පැමිණ තම නිවසේ ප්‍රධාන දොර විවෘත කිරීමට උත්සාහ කළේය. එහෙත් දොරෙන් පිටත අඩි ගණනාවක් උසට ගොඩගැසී තිබූ අළු සහ ගල් තට්ටු නිසා දොර සෙලවීමටවත් නොහැකි විය. ඔහුගේ අතේ තිබූ කුඩා පහන ද කෙමෙන් නිවී ගියේ ඔහු දෙසට එබිකම් කරන අන්ධකාරය තවත් බිහිසුණු කරමිනි.
ෆේබියාගේ පලායාම
අනෙක් පසින්, නගරයෙන් කලින් පිටත්වීමට තරම් වාසනාවන්ත වූ ෆේබියා (Fabia) සහ ඇයගේ පවුලේ පිරිස, පැය 14ක අසීරු ගමනකින් පසු දකුණු දිග ලතාරි (Latarri) කඳුකරය තරණය කරමින් සිටියහ. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට පපුව දක්වා උසට ගොඩ ගැසුණු අළු මතින් ඇවිද යාමට සිදු විය. ඔවුන් කඳු මුදුනකට ළඟා වී මොහොතකට නැවතී පසුපස හැරී බැලූහ. ඒ වන විටත් තවත් මාරක පයිරොක්ලාස්ටික් රළක් නිම්නය හරහා වේගයෙන් ගලා විත් පොම්පේයි නගරයේ වැදී, එහි උසැති ගොඩනැගිලිවල ඉහළ කොටස් මුළුමනින්ම කඩා දමමින් තිබුණි.
සිත පාරවන එම දසුන දැක නෙතට නැගුණු කඳුළු වළක්වා ගනිමින්, ෆේබියා තම පවුලේ අය ආරක්ෂිත ස්ථානයක් කරා දිරිමත් කරමින් රැගෙන ගියාය. ඇය තම සහෝදරයන් සහ සෙසු නගරවාසීන් වෙනුවෙන් දෙවියන් ඉදිරියේ නිහඬව යාඥා කළාය.
ගිනි කන්දකට යට වූ අතීතයක ශෝචනීය පුනරාගමනය
වසර දහස් ගණනකට පෙර සිදු වූ එම මහා ව්‍යසනය පිළිබඳව නූතන විද්‍යාත්මක විශ්ලේෂණයන් අපට පවසන්නේ කුමක්ද? නවතම සොයාගැනීම්වලට අනුව, එදා වේසුවියස් ගිනි කඳු පිපිරීම දින කිහිපයක් හෝ ඇතැම් විට සති කිහිපයක් පුරා ඇදී යන්නට ඇත. මෙම බිහිසුණු ස්වාභාවික විපත්තිය අවසානයේදී වර්ග කිලෝමීටර 300කට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය.
අළු තට්ටුවකට යට වූ නගර
එම මහා පිපිරීමෙන් පසු, සමෘද්ධිමත්ව පැවති පොම්පේයි (Pompeii) සහ හර්කියුලේනියම් (Herculaneum) යන නගර දෙක අඩි 65ක් පමණ උසැති ගිනි කඳු අළු සහ සුන්බුන් (Tephra) තට්ටුවකට යට විය. වසර සිය ගණනක් පුරා විවිධ පුද්ගලයන් විසින් අසංවිධානාත්මක ලෙස මෙම ස්ථාන හාරා වටිනා දෑ සොරා ගැනීමට උත්සාහ කළද, මෙම නගර දෙකේ සැබෑ නටබුන් ලෝකයට නිරාවරණය වූයේ 1800 මැද භාගයේදී නිල කැණීම් ආරම්භ කිරීමත් සමඟය.
අතීතය ප්‍රතිනිර්මාණය කිරීම
වර්තමාන පුරාවිද්‍යාඥයන් විසින් හමු වූ අස්ථි සාක්ෂි සහ ගිනිකඳු තැන්පතු ඉතා සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කර තිබේ. එමඟින් හර්කියුලේනියම් සහ පොම්පේයි වැසියන්ගේ අවසාන මොහොතේ බිහිසුණු අත්දැකීම් පෙළගැස්වීමට (Timeline) ඔවුන් සමත්ව ඇත. මෙම කැණීම් හරහා අපට ලැබී ඇත්තේ හුදෙක් නටබුන් පමණක් නොවේ; එය එම ව්‍යසනයට ගොදුරු වූ මිනිසුන්ගේ අතිශය සංවේදී ජීවන අත්දැකීම් පිළිබඳ කෙටි චිත්රයකි.
නටබුන් තුල සැඟවුණ රෝම ශිෂ්ටාචාරය
පැරණි රෝමවරුන්ගේ දෛනික ජීවිතය පිළිබඳ අසමසම තොරතුරු රැසක් අද අප දන්නේ මෙම නටබුන් නිසාය.
- ආහාර පාන සහ ගෘහ භාණ්ඩ
- වාස්තු විද්‍යාත්මක ලක්ෂණ
- එකල ආර්ථික රටාව
මේ සියල්ල පිළිබඳව ජීවමාන සාක්ෂි මෙම නගර දෙකෙන් හමුවේ. එදා නේපල්ස් බොක්කේ පිහිටි සාමාන්‍ය ප්‍රාදේශීය නගර දෙකක් පමණක් වූ මේ ප්‍රදේශ, අද වන විට මුළු මහත් ලෝකයටම පැරණි ලෝකය දෙස බැලීමට විවෘතව ඇති කවුළුවක් බඳුය. මහා ව්‍යසනයකින් විනාශ වී ගිය දහස් ගණනකගේ ජීවිත සහ ඔවුන්ගේ උරුමය, අදටත් එම අළු තට්ටුවලින් වැසුණු බිත්ති අතර නිහඬව සැඟවී තිබේ.
“පොම්පෙයි සහ හර්කියුලේනියම් යනු එක් දිනකදී විනාශ වූ නගර දෙකක් පමණක් නොවේ. ඒවා, ජීවිතය කොතරම් හදිසියේ වෙනස් විය හැකිද යන්න ලෝකයට මතක් කර දෙන නිහඬ සාක්ෂි දෙකකි. අළු යට වැළලුණු ඒ මාර්ග, නිවාස සහ මිනිසුන්ගේ ජීවිතයේ අවසාන අවස්ථාවන් අදත් ඉතිහාසයේ හද කම්පා කරවන කතාවක් ලෙස ජීවමානව පවතී.”
***
(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)
