හඬ අඩු කරන්න, සබඳතාව වැඩි කරන්න
දරුවෙක්ට අවශ්‍ය, කෑගහන හඬක් නොව — අහගෙන ඉන්න පුළුවන් හදවතක්..
ඒ නිසා අද ඉදන් පටන් ගන්න, හඬ අඩු කරලා, සබඳතාවය වැඩි කරන්න..
***
මේ ලිපිය, @Parentingandchildcare යූටියුබ් චැනලයේ How to GET Your CHILD to LISTEN Without YELLING වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.
Cover image credit goes to artfulparent.com
***
“එමා, සපත්තු දෙක දාගන්න.” කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
“එමා.. මම කියන දේ ඇහුණද? දැන්ම සපත්තු දාගන්න!” ඒත් එමා තාමත් සද්දයක් නෑ.
“එම්මා…. මම කිව්වා නේද එක පාරක් සපත්තු දාගන්න කියලා? දාගත්තේ නැත්නම් බලාගෙනයි!“
මේ වගේ අත්දැකීමක් ඔබටත් තියෙනවාද? ඔබ තනිවෙලා නැහැ. බොහෝ දෙමාපියන්ට දරුවා ලවා යමක් කරවා ගැනීමට ඇති එකම ක්‍රමය සද්ද පන්දු දමා කෑගැසීම පමණක් යැයි හැඟෙන අවස්ථා එමටයි. නමුත් ඇත්තටම කෑගැසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවාද?
නැතිනම් එයින් තත්ත්වය තවත් නරක අතට හැරෙනවාද?
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ දරුවාට කෑගසන්නේ නැතිව, ඔවුන් ලවා වැඩක් කරවා ගැනීමට අවශ්‍ය විශේෂඥයින් නිර්දේශ කළ ක්‍රමවේද 5කි. මෙය අත්හදා බැලූ සැනින්ම ඔබට දරුවාගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් දැකගත හැකි වනු ඇත.
ඇයි දරුවන්ට ඇහුම්කන් නොදෙන්නේ?
විසඳුම් සෙවීමට පෙර, දරුවන් ඇහුම්කන් නොදීමට හේතුව තේරුම් ගැනීම වැදගත්ය. ඔවුන් හිතාමතාම අපට කරදර කරනවා යැයි සිතුවද ළමා මනෝවිද්‍යාවට අනුව ඊට වෙනත් හේතු තිබිය හැකිය:
- කරමින් සිටින දෙයට වැඩි අවධානයක් දීම: දරුවෙකු රූපවාහිනිය බලන විට හෝ සෙල්ලම් කරන විට ඔවුන්ගේ මොළය ක්‍රියා කරන්නේ කුතුහලය පිටයි. එවිට ඔබ දෙන උපදෙස් ඔවුන්ට “තෝරා බේරා සවන් දීම” (Selective hearing) නිසා මඟහැරී යා හැකිය.
- උපදෙස් මාලාවකින් පීඩාවට පත්වීම: “සෙල්ලම් බඩු අස් කරන්න, සපත්තු දාගන්න, බෑග් එක ගන්න, ඉක්මන් කරන්න” යනුවෙන් එකපිට එක නියෝග ලැබෙන විට දරුවාගේ මොළයට එය දරාගත නොහැකි වී ඔවුන් එය නොසලකා හැරීමට පෙළඹේ.
- නොසලකා හැරීම පුරුද්දට යාම: ඔබ නිතරම එකම දේ කියමින් දෝෂාරෝපණය කරන්නේ නම්, දරුවා ඔබේ හඬ “නිරන්තර මැසිවිල්ලක්” ලෙස සලකා එයට ඇහුම්කන් නොදීමට හුරු වේ.
- ස්වාධීන වීමේ අවශ්‍යතාව: දරුවන් සහජයෙන්ම ස්වාධීන වීමට කැමතියි. ඔබ ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කරන තරමට, ඔවුන් ඔබෙන් මිදීමට හෝ ඔබට විරුද්ධ වීමට උත්සාහ කරයි.
අපි දරුවන්ට කෑගසනවා නේද?
අපි හැමෝම යම් අවස්ථාවක දරුවන්ට කෑගසා තිබෙනවා. නමුත් එහි ඇති ගැටලුව නම්, කෑගැසීමෙන් දරුවා තුළ ඇති වන්නේ බියක් හෝ ආත්මාරක්ෂක හැඟීමකි (Fight-or-flight response). එවිට දරුවා එක්කෝ නිහඬ වී ඔබව මඟහරියි, නැතිනම් පෙරළා පිළිතුරු දෙයි. කාලයත් සමඟ මෙය ඔබ සහ දරුවා අතර ඇති බැඳීම දුර්වල කරයි. දරුවා ඔබව දකින්නේ මඟ පෙන්වන්නෙකු ලෙස නොව, තමන් ආරක්ෂා විය යුතු “හතුරා” ලෙසයි. වාසනාවකට මෙන්, මීට වඩා දරුවන් සමඟ කටයුතු කල හැකි හොඳ ක්‍රම තිබේ.
දරුවාගේ ඇහුම්කන් දීමේ හැකියාව වර්ධනය කරන ක්‍රම 5ක්
1. දරුවාගේ මට්ටමට එන්න
කාමරයේ කොනක සිට කෑගසනවා වෙනුවට, දරුවා අසලට ගොස්, පහත් වී ඔවුන්ගේ උරහිස මෘදුව අල්ලන්න. ඔවුන්ගේ දෑස් දෙස බලා නම කියා කතා කරන්න. මෙය ඔවුන්ගේ අවධානය ලබා ගැනීමට ඇති හොඳම මගයි.
2. සන්සුන් නමුත් ස්ථීර ස්වරයකින් කතා කරන්න
දරුවන් වැඩිහිටියන්ගේ හැඟීම් අනුකරණය කරයි. ඔබ කලබල වී කෑගසනවා නම් ඔවුන් තැති ගනී. ඒ වෙනුවට ඉතා සන්සුන්ව, නමුත් එය අනිවාර්යයෙන්ම කළ යුතු බව හැඟෙන ස්ථීර හඬකින් කතා කරන්න.
3. එය විනෝදජනක දෙයක් බවට පත් කරන්න
උපදෙස් දීම සැමවිටම විධානයක් විය යුතු නැත. “අද කවුද ඉස්සෙල්ලාම සපත්තු දෙක දාගන්නේ කියලා බලමුද?” වැනි තරඟයක් හෝ ක්‍රීඩාවක් ලෙස එම කාර්යය දරුවාට ඉදිරිපත් කරන්න.
4. විධානයන් වෙනුවට තේරීම් ලබා දෙන්න
දරුවන් තමන්ට ලැබෙන පාලනයට කැමතියි. “දැන්ම නයිට් ගවුම ඇඳගන්න!” කියනවා වෙනුවට, “ඔයා අද අඳින්නේ රතු පාට එකද නිල් පාට එකද?” එහෙම නැත්නම් “අපි රෑට කතා පොතක් කියවන්න කලින්ද දත් මදින්නේ, නැත්තම් ඊට පස්සේද?” වැනි තේරීම් දෙන්න. මෙය ඔවුන්ට බලයක් දැනෙන්නට සලස්වන අතර විරුද්ධ වීම අඩු කරයි.
5. දඬුවම් වෙනුවට ස්වභාවික ප්‍රතිඵල ගැන කියා දෙන්න
තර්ජනය කරමින් කෑගසනවා වෙනුවට, යම් දෙයක් නොකිරීමෙන් සිදුවන සැබෑ ප්‍රතිඵලය ගැන දරුවාට කියා දෙන්න. උදාහරණයක් ලෙස, “සෙල්ලම් බඩු අස් කළේ නැත්නම් ඒවා පෑගිලා කැඩෙන්න පුළුවන්” හෝ “ජැකට් එක ඇන්දේ නැත්නම් ඔයාට සීතල ගනියි” වැනි දේ පැහැදිලි කරන්න. බලහත්කාරයෙන් දෙන දඬුවමට වඩා ස්වභාවික ප්‍රතිඵල මගින් දරුවා පාඩමක් ඉගෙන ගනී.
දෙමාපියන් වීම අභියෝගාත්මක විය හැකියි. නමුත් කෑගැසීම එකම විසඳුම නොවේ. මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ දරුවා වඩාත් හොඳින් ඔබට ඇහුම්කන් දෙනු ඇති අතර, ඔබ දෙදෙනා අතර ඇති බැඳීම වඩාත් ශක්තිමත් සහ ආදරණීය එකක් වනු ඇත.
අවසන් වශයෙන්.. යලිත් අවධාරණයට..
දෙමව්පියන් වීම ලේසි පහසු දෙයක් නොවේ. නමුත් දරුවන්ට කෑගහන එක එකම විසඳුම නෙවෙයි.
ඉහත සරල ක්‍රම අනුගමනය කිරීමෙන්:
- ඔබේ දරුවා වැඩිදුරටත් සවන් දේ
- ඔබ දෙදෙනා අතර බැඳීම ශක්තිමත් වේ
- ගෙදර පරිසරය සන්සුන් වේ
- අවසානයේ දී, ඔබේ දරුවා ඔබට සවන් දෙන දරුවෙක් පමණක්ම නොව — ඔබට සමීපව ආදරයෙන් බැඳී සිටින දරුවෙක් ද වේ.
***
(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)
