WorldWithoutHuman

මිනිසා නැතිව නිහඬ වූ ලෝකය..


“අපේ හුස්මට උරදුන් අහසත්, දෙපතුල් තැබූ පසත් මත,

අප තිවූ සලකුණු තවම තියේ…

එනමුත් අප නිහඬ වූ දා, ලෝකය පළමුව හුස්ම ගනී.

මිනිසා නැතිව ගිය ලෝකයක් එහෙමත් නැතිනම් මේ ජීවත් වන අප හැමදෙනාම හදිසියේ මේ ලෝකයෙන් අතුරුදහන් වුනොත් මොනවද වෙන්නේ?

”අපි හිතුවේ අපි ලෝකය පාලනය කරනවා කියලා, ඇත්තටම, අපි කළේ එක්තරා කාලයක් සඳහා කතාවක් ලියපු එක විතරයි, ඒ කතාව ඉවර වුණාම, ස්වභාවධර්මය — නිහතමානීව — එයාගේ කතාව ආයේ පටන් ගනිවී.

තව විදිහකින් කිව්වොත්, මිනිසා ලෝකය පාලනය කරනවා කියලා හිතාන උන්නට, ලෝකය කවදාවත් මිනිසාට පරාජය වෙලා නෑ කියන එකයි”

***

මේ ලිපිය, @AsapSCIENCE යූටියුබ් චැනලයේ What If Humans Disappeared? වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.

Cover image credit goes to worldfuturefund.org

***

ගංගා හරස් කරමින් වේලි බැඳීමේ සිට වායුගෝලයේ රසායනය වෙනස් කිරීම දක්වා මානව ක්‍රියාකාරකම් පෘථිවිය මත නොමැකිය හැකි සලකුණු තබා ඇත. නමුත්, හදිසියේම මිනිසා පෘථිවියෙන් අතුරුදහන් වුවහොත් කුමක් සිදුවේද? මෙය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් නොව, පෘථිවියේ ඔරොත්තු දීමේ හැකියාව මැන බැලිය හැකි විද්‍යාත්මක ගවේෂණයකි.

“සොබාදහමට මිනිසා අවශ්‍ය නැත, නමුත් මිනිසාට සොබාදහම අත්‍යවශ්‍ය වේ.” – මාක් ටෙරෙක්

01. පළමු සති කිහිපය: අවුල් සහගත ආරම්භයක්

මිනිසා නැති වු කල, ඔහු විසින් නිර්මාණය කළ පද්ධති ඉතා ඉක්මනින් කඩා වැටීම් ආරම්භ වේ. එනම් මිනිසා නැති වී පළමු පැය කිහිපය තුළ මුළු ලොවම අන්ධකාරයේ ගිලෙනු ඇත. ඉන්ධන නොමැතිකම නිසා බලාගාර ක්‍රියාවිරහිත වන අතර, විදුලි වැටවල් සහ ආරක්ෂිත වැටවල් වල බලය විසන්ධි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටු වී සිටි බිලියන 1.5 කට අධික ගවයන්, බිලියනයක් පමණ ඌරන් සහ බිලියන 20 කට අධික කුකුළන් තම කූඩුවලින් මිදී ආහාර සොයා එළියට එනු ඇත.

මිනිස් රැකවරණය යටතේ සිටි මෙම සතුන්ගෙන් බහුතරයක් නිරාහාරව මියයනු ඇත, නැතහොත් මිනිසා විසින් ඇති දැඩි කළ බිලියන භාගයකට අධික සුනඛයන් සහ බළලුන්ගේ ගොදුරු බවට පත්වනු ඇත. අප ආදරය කළ සුනඛයන්ට වනයේ ජීවත් වීම අසීරු වන අතර, ඔවුන් වෘකයන් සහ කොයෝටී (Coyotes) වැනි සතුන් සමඟ තරඟ කිරීමට නොහැකිව වඳ වී යනු ඇත. 

එසේම, මිනිසා මත යැපුණු මීයන් සහ කැරපොත්තන්ගේ ගහනය සීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ශරීරයේ වසන උකුණන් වැනි සතුන් මිනිසා සමඟම මිහිමතින් තුරන් වී යනු ඇත.

02. නගරවල ඉරණම: ගල්වලටත් වඩා දුර්වල මිනිසාගේ නිර්මාණ

මෙහිදී නගර යනු ස්වභාවධර්මයට විරුද්ධව මිනිසා ගොඩනගපු අස්ථිර සිහිවටන බව පසක් වේ. නගර වැසියන් නොමැති වූ විට, අපගේ මහා මාර්ග ඉතා ඉක්මනින් ගංගා බවට පත්වනු ඇත. උමං දුම්රිය මාර්ගවල ජලය ඉවත් කිරීමට විදුලි පොම්ප ක්‍රියා නොකරන බැවින්, දින කිහිපයක් ඇතුළත ඒවා ජලයෙන් පිරී යනු ඇත.

නගරයේ වීදි වල් පැලෑටි සහ වැල්වලින් වැසී යනු ඇත. එහෙත් ඊට පෙර මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත. නූතන නිවාස බොහොමයක් දැවයෙන් නිමවා ඇති අතර, අකුණු සැර වැදීමකින් හටගන්නා ගින්නක් නිවීමට ගිනි නිවන භටයන් නොමැති වීම නිසා මුළු නගරම අළු වී යා හැකිය. වසර 100 ක් ගතවන විට ලොව පුරා ඇති දැවමය ගොඩනැගිලි සියල්ල වේයන් සහ ස්වභාවික දිරාපත්වීම් නිසා අතුරුදහන් වනු ඇත.

යකඩ සහ වානේවලින් තැනූ පාලම් සහ ගොඩනැගිලි පවා ආරක්ෂිත ආලේපන (Paint) නොමැති වීම නිසා වායුගෝලයේ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර මලකඩ බවට පත් වේ.

 “යකඩ මලකඩ කන්නේ යකඩෙන්ම උපන් දෙයෙනි. මිනිසාගේ විනාශයද ඔහු විසින්ම නිර්මාණය කරන ලද දේ තුළම සැඟවී ඇත.”

03. සියවස කිහිපයකට පසු: ස්වභාවධර්මයේ නැවත නැගීසිටීම

මිනිසා නැති වී වසර සිය ගණනක් ගත වූ විට, ලොව පුරා සිටින සතුන්ගේ ගහනය නැවතත් මිනිසා පැමිණීමට පෙර තිබූ මට්ටමට වර්ධනය වනු ඇත. නමුත් ඔවුන්ගේ ව්‍යාප්තිය සදහටම වෙනස් විය හැකිය.. ඕස්ට්‍රේලියාවේ දැන් ඔටුවන් සැරිසරනු ඇති අතර, යුරෝපයෙන් උතුරු ඇමරිකාවට ගෙන ආ කුරුලු විශේෂ එහි ස්ථිර පදිංචිකරුවන් වනු ඇත. සත්වෝද්‍යානවලින් පැන ගිය සිංහයන් අප්‍රිකාවේ නොව, ඇමරිකාවේ මහා තැන්නක දඩයමේ යනු ඔබට දැකිය හැකි වනු ඇත.

04. අපේ කුණු: මිනිසාගේ දිගුකාලීන උරුමය

පෘථිවියේ ගුවන් විදුලි තරංග සහ චන්ද්‍රිකා නිහඬ වුවද, අප ඉතිරි කර ගිය එක් දෙයක් සදාකාලිකව පවතිනු ඇත. ඒ ප්ලාස්ටික් ය. පෘථිවිය මත මානවයා සිටි බවට ඉතිරි වන ශක්තිමත්ම සාක්ෂිය වන්නේ අපේ කුණු කසළයි. ප්ලාස්ටික් හෝ රබර් දිරාපත් කිරීමට ස්වභාවික බැක්ටීරියාවලට අවශ්‍ය කරන එන්සයිම නොමැත. මේවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස සාගර පතුලේ සහ පස් ස්ථරවල තැන්පත් වේ.

අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයකින් පැමිණෙන භූ විද්‍යාඥයෙකුට පෘථිවියේ ගල් ස්ථර පරීක්ෂා කිරීමේදී, ප්ලාස්ටික් බෑග් හෝ ටයර් කොටස් අඩංගු ප්ලාස්ටිග්ලොමරේට් (Plastiglomerates) නමින් හැඳින්වෙන පාෂාණ විශේෂයක් හමුවනු ඇත. කාන්තාර වැනි වියළි කලාපවල මිනිසා භාවිතා කළ භාණ්ඩ තවත් වසර දහස් ගණනක් ආරක්ෂිතව පවතිනු ඇත.

 “අපගේ ශිෂ්ටාචාරයේ ස්මාරක පිරමීඩ නොව, අප ඉතිරි කළ ප්ලාස්ටික් කසළ කඳු වනු ඇත.”

05. සොබාදහමේ ඔරොත්තු දීමේ ශක්තිය

පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම වසර දහස් ගණනකට පසු යථා තත්ත්වයට පත් වුවද, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැනි විකිරණශීලී ද්‍රව්‍ය වසර ලක්ෂ ගණනක් පවතිනු ඇත. අනාගතයේ බිහිවන පැලියෝන්ටොලොජිස්ට්වරුන් (Paleontologists) අප ගැන පුදුම වනු ඇත. ඉතා කෙටි කාලයකදී අප්‍රිකාවෙන් ආරම්භ වී මුළු ලොවම යටත් කරගත්, ප්ලාස්ටික්වලට ඇලුම් කළ මේ අමුතු සත්ව වර්ගයා එතරම් වේගයෙන් අතුරුදහන් වූයේ මන්දැයි ඔවුන් සොයනු ඇත.

සොබාදහම යනු ඉතා ශක්තිමත් පද්ධතියකි. මිනිසා විසින් ඇති කළ දූෂණය සහ වඳ වී යාම්වලින් යථා තත්ත්වයට පත් වීමට කාලයක් ගත වුවද, අවසානයේදී පෘථිවිය යළිත් හරිත වර්ණයෙන් බබළනු ඇත. අද මිනිසා වටා ගැවසෙන මීයන්, පරෙවියන් සහ බළලුන් අනාගතයේදී නව පරිණාමීය හැඩතල ඔස්සේ නව සත්ව විශේෂ බවට පත්වනු ඇත.

අප නොමැති ලෝකය වඩාත් සුන්දර විය හැකිය, නැතහොත් එය වනචාරී විය හැකිය. නමුත් පැහැදිලි වන එකම කරුණ නම්, පෘථිවියට අප නොමැතිව පැවතිය හැකි වුවද, අපට පෘථිවිය නොමැතිව පැවතිය නොහැකි බවයි. අප දමා යන සලකුණු පාෂාණ ස්ථරවල සදාකාලිකව සටහන් වනු ඇත.

***

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *