Earth Core

🌍 පෘථිවියේ හදවතට – මහ පොළවේ කුහරයක් කැණිය හැකි උපරිම ගැඹුර කොච්චරක් ද?


“මිනිසා අහස දිහා බැලුවාම සිහින දකින්න පටන් ගත්තා වගේම, මහ පොළව දිහා බැලුවාමත් ඇයගේ ගැඹුර ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.”

***

මේ ලිපිය, @RealLifeLore යූටියුබ් චැනලයේ What’s the Deepest Hole We Can Possibly Dig? වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.

Cover image credit goes to businessinsider.com 

***

මිනිස් ජීවිතයේ කිසියම් අවස්ථාවකදී හෝ අඩුම තරමේ එක් වතාවක හෝ පෘථිවියේ මැදට යනකම් කුහරයක් කණින්න පුළුවන් උනොත් කොහොම වෙයිද කියලා හිතලා තියෙනවා නේද.?

ළමා කාලේ මැටි වලින්, වැලි වලින් හෝ ගස් මුලින් කුහර කැණීමෙන් පටන් ගත්ත මේ කුතුහලය, අද නවීන විද්‍යාත්මක තාක්ෂණය දක්වාම දිග හැරීලා තියෙනවා. මිනිසා පෘථිවියේ ඉහළ අහස සහ විශ්වය ජය ගැනීමට වෙහෙසෙන තරමටම, තමන් පය ගසා සිටින පොළොව අභ්‍යන්තරය ගැන දක්වන්නේත් පුදුමාකාර කුතුහලයකි. 

නමුත් සැබෑ ප්‍රශ්නය මෙයයි.

“අපිට ඇත්තටම කොච්චර ගැඹුරකට කැණිය හැකිද?”

අද තියෙන තාක්ෂණය භාවිතා කරලා, මිනිසා පෘථිවිය තුළ කොච්චර දුරකට ඇතුල් වෙලා තියෙනවාද?

ඔබ සිතන්නේ නම් නූතන තාක්ෂණයෙන් අපට ඕනෑම ගැඹුරකට යා හැකි කියා, මේ ලිපිය ඒ ගැන ඔබේ අදහස වෙනස් කරනු ඇත.

⛏️ කැණීම ආරම්භ වෙන්නේ පෘථිවියේ මතුපිටින්

අපි පොළොව මතුපිට සිට පහළට හෑරීම ආරම්භ කරමු.

  • මීටර් 1.88: බටහිර සංස්කෘතියට අනුව මිනී වළක් හාරන සම්මත ගැඹුර මෙයයි.
  • මීටර් 4: ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ ටුටන්කාමන් රජුගේ (Pharaoh Tutankhamun) සොහොන් ගැබ හමු වූයේ මේ ගැඹුරෙනි. වසර දහස් ගණනක් සැඟව තිබූ රහස් මතු වූයේ මේ මීටර් කිහිපය තුළිනි.
  • මීටර් 6: ලෝහ අනාවරක (Metal Detectors) වලට සංඥා හසු කරගත හැකි උපරිම ගැඹුර මෙයයි.
  • මීටර් 12: ලොව සතෙකු විසින් හාරන ලද ගැඹුරුම බිලය (Burrow) හමුවන්නේ මෙතැනිනි. ඒ නයිල් කිඹුලා විසින් හාරන ලද්දකි.

නගරයට යටින් තවත් ලෝකයක්

අපි තවත් ගැඹුරට යමු. මීටර් 20ක් යනු පැරිස් නගරයට යටින් ඇති පැරිස් කැටකොම්බ්ස් (Paris Catacombs) පිහිටි ගැඹුරයි. එහි මිනිසුන් මිලියන 6කගේ පමණ අස්ථි කොටස් තැන්පත් කර ඇත. එය එක්තරා අතකින් මළවුන්ගේ නගරයකි.

ඔබ පිහිනීමට ප්‍රිය කරන අයෙක් නම්, මීටර් 40 සීමාව ඔබට වැදගත් වේ. ලොව ගැඹුරුම පිහිනුම් තටාකය පිහිටා ඇත්තේ මේ ගැඹුරෙනි. යම් හෙයකින් මෙහි ජලය හිස් කර ඔබ ඉහළ සිට පහළට පැනීමට උත්සාහ කළහොත්, පතුලට වැටීමට තත්පර 3ක් ගතවනු ඇත.

මීටර් 100 සීමාව සහ භයානක රහස්

පෘථිවියේ මීටර් 100 සීමාව පසු කරන විට අප පිවිසෙන්නේ මිනිසාගේ ආරක්ෂිත සහ රහසිගත කලාප වලටයි.

  • මීටර් 100: රජයන් විසින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය (Nuclear Waste) භූගතව තැන්පත් කරන්නේ මෙම මට්ටමේ සිටයි.
  • මීටර් 105.5: ලොව ගැඹුරුම දුම්රිය ස්ථානය වන යුක්රේනයේ Kyiv මෙට්‍රෝ ස්ථානය මෙම මට්ටමේ පිහිටා ඇත.
  • මීටර් 122: ශාකයක මුල් පද්ධතියක් ගමන් කර ඇති ගැඹුරුම සීමාව මෙයයි. දකුණු අප්‍රිකාවේ අත්තික්කා ගසක් මේ වාර්තාවට හිමිකම් කියයි.
  • මීටර් 240: ජපානයේ හොන්ෂු සහ හොකයිඩෝ දූපත් සම්බන්ධ කරන ලොව ගැඹුරුම දුම්රිය උමග මෙම මට්ටමේ පිහිටා ඇත.

අතින් හෑරූ මහා වළ සහ බිහිසුණු ප්‍රපාත

මිනිසා යන්ත්‍ර සූත්‍ර නැති කාලයක වුවද ධෛර්යය අත්නෑර පොළොව හෑරීමට උත්සාහ කළේය. එක්සත් රාජධානියේ වූඩින්ඩීන් (Woodingdean) ජල ළිඳ මීටර් 392ක් ගැඹුරු වන අතර, එය සම්පූර්ණයෙන්ම අතින් හෑරූ ලොව ගැඹුරුම ළිඳ ලෙස සැලකේ.

  • මීටර් 603: මෙය ගුහාවක් තුළ ඇති ගැඹුරුම සිරස් ප්‍රපාතයයි. යම් අයෙක් මෙහි ඉහළ සිට පහළට වැටුණහොත්, එය නිව්යෝර්ක් හි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ ඉහල සිට බිමට වැටෙනවාටත් වඩා වැඩි උසකි. පතුලට වැටීමට තත්පර 11ක් ගතවනු ඇත. ඒ තත්පර 11 තුළ ඔබේ මුළු ජීවිතයම දෑස් ඉදිරියේ මැවී පෙනෙනු නොඅනුමානය.

පෘථිවියේ ගැඹුරුම ජීවීන් සහ පතල්

මිනිසාට පෘථිවිය අභ්‍යන්තරයේ ජීවත් විය හැකිද? වරක් චිලී රාජ්‍යයේ පතල් කම්කරුවන් 33 දෙනෙකු මීටර් 700ක් යට දින 69ක් සිරවී සිටි පුවත ලෝකයම කම්පා කළේය.

නමුත් වාර්තා බිඳ හෙළමින් මීටර් 2,197ක් ගැඹුරින් ලොව ගැඹුරුම ගුහාව (Georgia හි) හමු වී ඇත. එසේම මීටර් 3,132ක් ගැඹුරු දකුණු අප්‍රිකාවේ Moab Khotsong පතල තවත් විශේෂ ය. මෙහි පතුලට ලිෆ්ට් එකකින් යාමට විනාඩි 4.5ක් ගතවේ. ඔබ මෙහි පතුලට වැටුණහොත්, පතුල වැදීමට පෙර ඔබට දුරකථන ඇමතුමකට පිළිතුරු දී අවසන් කිරීමට තරම් කාලයක් (තත්පර 25ක්) ලැබෙනු ඇත.

සත්ව ලෝකයේ පුදුමය !

මීටර් 3,600ක් ගැඹුරේදී පවා ජීවය පවතින බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඒ අන්වීක්ෂීය පණුවන් විශේෂයකි. ඉතා අධික පීඩනයක් සහ උෂ්ණත්වයක් යටතේ ඔවුන් ජීවත් වීම පුදුමයකි.

“අඳුර යනු ආලෝකයේ අඩුවක් පමණක් නොව, එය සොයා නොගිය දැනුමේ ද තෝතැන්නකි.”

සෝවියට් දේශයේ ‘කෝලා’ ව්‍යාපෘතිය (Kola Superdeep Borehole)

මිනිසාට ඇත්තටම පෘථිවියේ මධ්‍යයට යා හැකිද? මේ අභියෝගය භාර ගත්තේ සෝවියට් දේශයයි. 1970 දී ඔවුන් ආරම්භ කළ Kola Superdeep Borehole ව්‍යාපෘතිය හරහා පෘථිවි පෘෂ්ඨය සිදුරු කිරීමට උත්සාහ කළහ. ඔවුන් මීටර් 12,262ක් ගැඹුරටම හෑරූහ! නමුත් එතැනින් එහාට යාමට ඔවුන්ට නොහැකි විය.

හේතුව කුමක්ද?

  • අධික උෂ්ණත්වය: එම ගැඹුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180 (180°C) ඉක්මවා ගියේය. එය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩිය.
  • තාක්ෂණික සීමා: අධික රශ්මිය නිසා හෑරීමට යොදාගත් ඩ්‍රිල් කටු ප්ලාස්ටික් මෙන් දිය වන්නට විය.
  • පාෂාණ වල ස්වභාවය: එම ගැඹුරේදී පාෂාණ ඝන ද්‍රව්‍යයක් මෙන් නොව, උණු වූ දියරමය ස්වභාවයකට හුරු ගතියක් පෙන්වීය.

මේ වන විට ලොව ගැඹුරුම මිනිසා හෑරූ සිදුර ලෙස වාර්තා වන්නේ Z-44 Chayvo තෙල් ළිඳයි. එහි ගැඹුර මීටර් 12,376කි. මෙය බර්ජ් කලීෆා ගොඩනැගිලි 15ක් එක මත එක තැබුවාක් වැනි ගැඹුරකි.

අප තවමත් සිටින්නේ කොතැනද?

පෘථිවි පෘෂ්ඨය (Crust) මීටර් 70,000ක් පමණ ගැඹුරට විහිදේ. පෘථිවියේ මධ්‍යයට ඇති දුර කිලෝමීටර් 6,371කි. අප මෙතෙක් හෑරූ ගැඹුරුම සිදුර මීටර් 12,376, පෘථිවියේ මධ්‍යයට ඇති දුර සමග සසඳන විට, එය සාගරයකින් එක දිය බිඳක් වැනිය. සරල උදාහරණයකින් කිවහොත්, පෘථිවියේ මතුපිට පෘතුගාලයේ ලිස්බන් නගරය ලෙසත්, මධ්‍යය කසකස්ථානයේ අස්තානා නගරය ලෙසත් ගත්තොත්, මිනිසා මෙතෙක් හෑරූ දුර එම මහා මාර්ගයේ පියවර කිහිපයක් පමණි.

 “විද්‍යාව කොතරම් දියුණු වුවත්, සොබාදහම සැමවිටම අපට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටියි.”

අපට මනා තාක්ෂණය තිබුණද, පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික පීඩනය සහ තාපය මිනිසාට තවමත් විසඳිය නොහැකි ප්‍රහේලිකාවකි. සමහරවිට, අනාගතයේදී පෘථිවියේ හදවත ස්පර්ශ කිරීමට හැකි තාක්ෂණයක් බිහිවනු ඇත. එතෙක්, මේ මහා පොළොව ඇයගේ රහස් අභිරහස් අගාධයක සඟවාගෙන සිනාසෙනු ඇත.

“පෘථිවි ගැඹුර, මිනිසාගේ කුතුහලයටත් වඩා විශාලයි.

අපි කැණූ කුහර, ඇයගේ අපරිමිත රහස් වල තවමත් මුල් අකුර පමණයි.”

***

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *