අතිශය ධනවතුන්ගේ ජීවිත පිළිබඳ ගවේෂණයක්..
“සාමාන්‍ය මිනිසුන් ලෝකය දකින්නට සංචාරය කරන අතර, ප්‍රකෝටිපතියන් සංචාරය කරන්නේ ලෝකයෙන් සැඟවී තමන්ටම වෙන්වූ ලෝකයක් නිර්මාණය කර ගැනීමටයි.”
ලෝකයේ අතිශයින්ම ධනවත්ම ප්‍රකෝටිපතියන් 0.003% කගේ අසාමාන්‍ය ජීවන රටාව සහ රහසිගත ඔවුනගේ ගෝලීය සංචාරක ආක්‍රමණයන් ගැන මේ ලිපියෙන් කතා කරමු.
***
මේ ලිපිය, @Wendoverproductions යූටියුබ් චැනලයේ How the World’s Wealthiest People Travel වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.
Cover image credit goes to edition.cnn.com
***
ලෝක ජනගහනය බිලියන අටකට ආසන්න වුවද, ඉන් ඉතා සුළු පිරිසක් එනම් 295,450ක් පමණක් ඩොලර් මිලියන 30කට වඩා ශුද්ධ වත්කම් හිමි කරගෙන සිටිති. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල මුළු මානව සංහතියෙන් 0.0037% ක් වැනි අතිශය සුළු ප්‍රමාණයකි. නමුත් වඩාත්ම විශ්මයජනක කරුණ නම්, පෘථිවියේ පවතින සමස්ත ධනයෙන් තුනෙන් එකක් එනම් ඩොලර් ට්‍රිලියන 35ක මුදල් කන්දරාවක් පාලනය වන්නේ මොවුන් අතින් වීමයි. මෙම අසමතුලිතතාවය නිසාම, ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ට සිහිනයකින්වත් සිතාගත නොහැකි, අතිශය මිල අධික සේවාවන් සපයන රහසිගත ගෝලීය කර්මාන්තයන් බිහිවී ඇත.
මෙම ලිපියෙන් මෙම අති-ධනවත් (Ultra-High-Net-Worth) පන්තිය තම කාලය සහ මුදල් වැය කරන්නේ කෙසේද සහ ඔවුන්ගේ නොමෑඩික්/(Nomadic) හෙවත් සංචාරක ජීවන රටාව ගෝලීය ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන්න විමසා බැලේ.
සුවිශේෂීත්වය සහ සමාජ හුදෙකලාව
සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලූ කල, ඕනෑම සමාජ මට්ටමක සිටින පුද්ගලයන් තමන්ට සමාන මට්ටමේ අය සමඟ ඇසුරු කිරීමට පෙළඹේ. නමුත් ඉහළටම යන විට ගැටලුවක් පැන නගී. එනම්, ඔබ උපයන මුදල වැඩි වන තරමට, ඔබට සමාන මට්ටමේ වෙනත් අය හමුවීමේ සම්භාවිතාව අඩු වීමයි. ඔබ ප්‍රකෝටිපතියෙකු වූ විට, ඔබේ අසල්වැසියා ද ප්‍රකෝටිපතියෙකු වීමේ ඉඩකඩ ඉතා අඩුය.
මේ නිසා, මෙම පිරිසට තමන්ගේ මට්ටමේ මිතුරන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සොයා ගැනීම සඳහා තම සමාජ ජාලය ගෝලීය මට්ටම දක්වා පුළුල් කිරීමට සිදු වේ. ඔවුන්ට ජාතික සීමා මායිම් අදාළ නොවේ. ඔවුන් ජීවත් වන්නේ ලන්ඩන්, නිව්යෝර්ක් හෝ ටෝකියෝ නොව ඔවුන්ටම වෙන්වූ ගෝලීය ජාලයකය.
ප්‍රකෝටිපතියන්ගේ සමාජ දින දර්ශනය (The Billionaires’ Social Calendar)
වසර ගණනාවක් පුරාවට තහවුරු කරගත් නිල නොවන නමුත් ඉතා ක්‍රමවත් පද්ධතියක් මොවුන් සතුය. එය ප්‍රකෝටිපතියන්ගේ සමාජ දින දර්ශනය ලෙස හැඳින්වේ. මෙම දින දර්ශනයට අනුව ලෝකයේ ධනවත්ම පිරිස වසරේ විවිධ කාලවලදී විවිධ ස්ථානවලට ඒකරාශී වෙති.
– වසරේ මුල් භාගය
වසර ආරම්භ වන්නේ කැරිබියන් දූපත් සමූහයට අයත් ශාන්ත බාර්ත්ස් (Saint Barth’s) දූපතෙනි. අති සුඛෝපභෝගී යාත්‍රා සිය ගණනක් අලුත් අවුරුදු සැමරුම් සඳහා එහි නැංගුරම් ලා තිබේ. පෙබරවාරියේදී ඇමරිකාවේ සුපර් බෝල් (Super Bowl) තරඟාවලියටත්, මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් හෝ ඇමරිකාවේ ඇස්පන් හි හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවලටත් ඔවුහු සහභාගී වෙති.
– වසන්තය සහ ගිම්හානය
වසන්ත කාලය උදාවෙත්ම මොවුන්ගේ අවධානය යුරෝපය දෙසට යොමු වේ. මැයි මාසයේදී කෑන්ස් සිනමා උළෙල සහ එයට ඉතා සමීපව පැවැත්වෙන මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී (Monaco Grand Prix) මෝටර් රථ තරඟාවලිය ප්‍රධාන තැනක් ගනී. ජූනි මාසයේ එංගලන්තයේ හෙන්ලි රෝයල් රෙගට්ටා (Henley Royal Regatta) සහ ජූලි මාසයේ විම්බල්ඩන් (Wimbledon) ටෙනිස් තරඟාවලිය මෙම ලැයිස්තුවේ අනිවාර්ය අංග වේ.
– වසරේ අවසානය
සැප්තැම්බර් මාසයේදී නැවතත් මොනාකෝ වෙත පැමිණෙන්නේ ලොව විශාලතම යාත්‍රා ප්‍රදර්ශනය (Yacht Show) නැරඹීමටයි. නොවැම්බර් මාසයේ ලන්ඩන් කලා ප්‍රදර්ශනය (London Art Fair) සහ දෙසැම්බර් මාසයේ මියාමි හි පැවැත්වෙන Art Basel ප්‍රදර්ශනයෙන් පසු නැවතත් චක්‍රය ආරම්භ කරමින් ඔවුහු ශාන්ත බාර්ත්ස් වෙත ඇදී යති.
මෙම උත්සවවලට සහභාගී වීම ඔවුනගේ හුදෙක් විනෝදාංශයක් නොවේ; එය තමන්ගේ සමාජ තත්ත්වය (Social Standing) රැක ගැනීමට ඇති බැඳීමක් සහ සිදු කරන බලකිරීමකි.
ජෙෆ් බේසෝස්: පියාසර මාළිගා සහ පාරිසරික වියදම්
ප්‍රකෝටිපතියෙකුගේ ජීවන රටාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ දින චර්යාව හොඳම උදාහරණයකි. 2022 ජනවාරි මාසය තුළ පමණක් ඔහුගේ පෞද්ගලික G650 ජෙට් යානා දෙක සිදුකළ ගමන් ප්‍රමාණය අදහාගත නොහැකිය.
ශාන්ත බාර්ත්ස් දූපතේ ධාවන පථය බේසෝස්ගේ දැවැන්ත ජෙට් යානාවලට ප්‍රමාණවත් නොවන බැවින්, ඔහු සිය යානා අසල පිහිටි ශාන්ත මාර්ටින් දූපතේ නවතා තැබුවේය. ඉන්පසු හෙලිකොප්ටර් හෝ කුඩා බෝට්ටු මගින් දූපත් අතර සැරිසැරුවේය. ජනවාරි මාසය තුළ පමණක් ඔහුගේ යානා සැතපුම් 29,000ක් පියාසර කර ඇත. මෙය පෘථිවිය වටා එක් වරක් යාමට වඩා වැඩි දුරකි. මේ සඳහා වැය කළ ඉන්ධන ප්‍රමාණය ගැලුම් 24,838කි.
සන්සන්දනාත්මකව බැලුවහොත්, ලොව විශාලතම මගී ගුවන් යානය වන Airbus A380 යානයකට මගීන් 500ක් රැගෙන අත්ලාන්තික් සාගරය හරහා පියාසර කිරීමට මෙම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත්ය. නමුත් මෙහිදී එම සම්පත් වැය වූයේ එක් පුද්ගලයෙකුගේ සහ ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකුගේ පහසුව වෙනුවෙනි. මෙය අති-ධනවත් පන්තිය පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණ (Carbon Footprint) පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වීමට හේතු වී ඇත.
සුඛෝපභෝගී හෝටල් සහ ධාරිතාව පිළිබඳ අර්බුදය
කලකට පෙර සුඛෝපභෝගී යැයි සැලකූ හෝටල් දැන් සාමාන්‍යකරණය වී ඇත. මේ නිසා ප්‍රකෝටිපතියන් දැන් අති-සුඛෝපභෝගී (Ultra-Luxury) මට්ටමේ ස්ථාන සොයා යමින් සිටිති. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල ගණන් අහස උසට නැග ඇත.
යූටා කාන්තාරයේ පිහිටි Amangiri නිකේතනය මෙයට කදිම උදාහරණයකි. මීට වසර පහකට පෙර එහි එක් රාත්‍රියක අවම ගාස්තුව ඩොලර් 1,400ක් විය. අද වන විට එය ඩොලර් 2,800ක් දක්වා දෙගුණ වී ඇත. නිව්යෝර්ක් නගරයේ මෑතකදී විවෘත වූ Aman New York හෝටලයේ සාමාන්‍ය කාමරයක් රාත්‍රියකට ඩොලර් 3,000 සිට 4,000 දක්වා මිල වේ. පුදුමයට කරුණ නම්, මෙම මිල ගණන් යටතේ වුවද මාස ගණනාවකට පෙර මෙම ස්ථාන වෙන් කර අවසන් වීමයි.
සාමාන්‍ය ධනවතුන් (Millionaires) වැඩි වැඩියෙන් මෙම ස්ථානවලට පැමිණීම නිසා, සැබෑ ප්‍රකෝටිපතියන් (Billionaires) දැන් මෙම පොදු ස්ථානවලින් ඉවත් වී “සියලු දේ පෞද්ගලික” (Private Everything) සංකල්පය කරා යොමු වී ඇත.
සුපිරි යාත්‍රා (Super Yachts): මුහුද මැද බලය ප්‍රදර්ශනය කිරීම
ගොඩබිම පිහිටි හෝටල් සහ නිවාඩු නිකේතන ජනාකීර්ණ වන විට, ප්‍රකෝටිපතියන්ට ඇති හොඳම විකල්පය වන්නේ යාත්‍රා හිමි කර ගැනීමයි. යාත්‍රාවක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් නොවේ; එය මුහුද මැද පාවෙන්නා වූ මාලිගාවකි.
යාත්‍රා හිමිකාරීත්වය යනු ඉතා අධික වියදම් සහිත කටයුත්තකි. සාමාන්‍යයෙන් යාත්‍රාවක වාර්ෂික නඩත්තු වියදම එහි වටිනාකමෙන් 10%ක් පමණ වේ. එනම් ඩොලර් මිලියන 300ක යාත්‍රාවක් නඩත්තු කිරීමට පමණක් වසරකට ඩොලර් මිලියන 30ක් වැය වේ. නමුත් ධනවතුන් පවසන්නේ යාත්‍රාවක පෞද්ගලිකත්වය තුළ සිදුකරන එක් ව්‍යාපාරික ගනුදෙනුවකින් මෙම සියලු වියදම් පියවා ගත හැකි බවයි.
යාත්‍රා හිමිකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ යාත්‍රා නැංගුරම් ලෑමට ඇති ඉඩකඩ සීමිත වීමයි. උදාහරණයක් ලෙස මොනාකෝ යාත්‍රා සමාජයේ (Yacht Club de Monaco) කුඩා යාත්‍රාවක් නැංගුරම් ලෑමට සාමාන්‍ය දිනක ඩොලර් 275ක් වැය වුවද, ග්‍රෑන්ඩ් ප්‍රී තරඟ සමයේදී එය ඩොලර් 16,500ක් දක්වා ඉහළ යයි. මීටර් 70කට වඩා දිග යාත්‍රාවක් සඳහා එම ගාස්තුව රාත්‍රියකට ඩොලර් 73,000ක් පමණ වේ.
ගවේෂණාත්මක සංචාර (The Rise of Expedition Yachts)
සාම්ප්‍රදායික සංචාරක ස්ථානවලින් මිදීමට ප්‍රකෝටිපතියන් දැන් ගවේෂණාත්මක යාත්‍රා (Expedition Yachts) භාවිතා කරමින් ආක්ටික් ප්‍රදේශය හෝ පැසිෆික් සාගරයේ දුරස්ථ දූපත් කරා ගමන් කරති. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ මිතුරන් කිසිවෙකු නොගිය තැනකට ගොස් අන් අයට ඒ ගැන කතන්දරයක් කීමටයි (Bragging rights).
ප්‍රකෝටිපතියන් වෙනුවෙන්ම වෙන්වූ සංචාරක සමාගම් දැන් විවිධ අත්දැකීම් ද නිර්මාණය කරයි.
- රුවන්ඩාවේ දුර්ලභ ගෝරිල්ලන් බැලීම සඳහා පෞද්ගලික සෆාරි.
- දක්ෂිණ ධ්‍රැවය (South Pole) වෙත සිදුකරන අති සුඛෝපභෝගී ගවේෂණ.
- මුහුද මැද වැලි තලාවක තාවකාලිකව ඉදි කරන “Michelin Star” මට්ටමේ අවන්හල්.
මෙම සංචාර සඳහා එක් පුද්ගලයෙකු ඩොලර් ලක්ෂ ගණනින් වියදම් කිරීමට සූදානම්ය. ඔවුන් සොයන්නේ සුව පහසුවටත් වඩා සුවිශේෂීත්වය (Exclusivity) යි.
අතුරුදහන් වීමේ කලාව (The Art of Disappearing)
වර්තමාන ලෝකයේ ධනවතුන් සහ අතිශය ධනවතුන් අතර ඇති ප්‍රධාන වෙනස මෙයයි: ධනවතුන් (Millionaires) සංචාරය කරන්නේ තමන්ගේ සැප සම්පත් ප්‍රදර්ශනය කරමින් අන් අයගේ අවධානය දිනා ගැනීමටයි. නමුත් අතිශය ධනවතුන් (Billionaires) දැන් උත්සාහ කරන්නේ ලෝකයෙන් අතුරුදහන් වීමටයි.
හවායි, කොලරාඩෝ සහ කැරිබියන් දූපත් වල හුදෙකලා ප්‍රදේශවල පිහිටි ඩොලර් මිලියන 30-50 වටිනා නිවාස අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත්තේ මේ නිසාය. ඔවුන් තමන්ගේම පෞද්ගලික ආරක්ෂක අංශ, පෞද්ගලික සූපවේදීන් සහ පෞද්ගලික වෛද්‍ය පහසුකම් සහිතව ලෝකයෙන් වෙන්වී ජීවත් වීමට කැමැත්තක් දක්වයි.
“රහස්‍යභාවය (Secrecy) යනු වර්තමාන ලෝකයේ මිල අධිකම සුඛෝපභෝගී භාණ්ඩයයි.”
අවසානයේ ප්‍රකෝටිපතියන්ගේ මෙම සංචාරක රටාවන් දෙස බලන විට පැහැදිලි වන කරුණක් නම්, ලෝකයේ ධනය අතලොස්සක් දෙනා අතර ඒකරාශී වීම නිසා සමස්ත සුඛෝපභෝගී කර්මාන්තයම වෙනස් වෙමින් පවතින බවයි. සාමාන්‍ය ජනයා මෙන්ම සාමාන්‍ය ධනවතුන් ද මෙම සුවිශේෂී කලාපවලින් ඉවතට තල්ලු වෙමින් පවතී.
අනාගතයේදී සංචාරය යනු හුදෙක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාම පමණක්ම නොව, සමාජයෙන් වෙන්වී තමන්ටම ආවේණික වූ රහසිගත පාරාදීසයක් නිර්මාණය කර ගැනීමක් වනු ඇත. ප්‍රකෝටිපතියන් සැමවිටම සාමාන්‍ය ධනවතුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටීමට උත්සාහ කරනු ඇත. අප යම් සුඛෝපභෝගී අත්දැකීමක් ගැන දැනගන්නා විට, ඔවුන් දැනටමත් ඊට වඩා ඉහළ මට්ටමේ යමක නිරත වෙමින් සිටිනු නිසැකය.
“ජීවිතය මුදලින් මනින්නේ නැත…
ලෝකයේ ඉහළම ස්ථානයේ සිටියත්,
සැබෑ වටිනාකම ලැබෙන්නේ,
හදවතේ සතුට සහ අතහැර නොගත් අත්දැකීම් තුළින් පමණි.”
***
(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)
