Israel-6day-war

දින හයකින් අවසන් කලමුත්, දශක ගණනාවකට දිගු වූ යුධ සෙවණැල්ල..


⚔️ දින හයකින් වෙනස් වූ මැදපෙරදිග ඉතිහාසය නොහොත් Six-Day War [1967]

යුද්ධයේදී නිවැරදිම ඉලක්කයක් ගැනීමට හා ඊට පහර දීමට ඔබට අවශ්‍ය වන්නේ එක් තියුණු ඇසක් පමණයි, ඒ වගේම හොඳ දබරැඟිල්ලකුත්. – මෝෂේ දයාන් (ඊශ්‍රායලය)

***

මේ ලිපිය, @KingsandGenerals යූටියුබ් චැනලයේ Six-Day War (1967) – Third Arab–Israeli War වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.

Cover image credit goes to historyhit.com

***

මැදපෙරදිග ගිනියම් කළ යුද්ධයේ ආරම්භය

1948 සහ 1956 වසරවල පැවති යුද්ධවලදී ඊශ්‍රායලය ලැබූ ජයග්‍රහණ හමුවේ, අරාබි ලෝකය පසුවූයේ දැඩි නොසන්සුන්කාරී තත්වයකය. විශේෂයෙන්ම ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානය ඇතුළු අරාබි සන්ධානයට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඊශ්‍රායලය පරාජය කර කලාපයේ බලතුලනය තමන් වෙත නතු කර ගැනීමටයි. දෙපාර්ශවයම මෙම තත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටි අතර, මීළඟ මහා සටන සඳහා රහසින්ම සූදානම් වූහ. ජාත්‍යන්තර බලපෑම් සහ දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමට තිබූ නොහැකියාව හේතුවෙන්, නූතන ඉතිහාසයේ වඩාත්ම සුවිශේෂී සටනක් වූ දින හයේ යුද්ධය ඇරඹීම වැළැක්විය නොහැකි තත්ත්වයකට පත් විය.

1967 තීරණාත්මක සිදුවීම

මෙම මහා යුද්ධයට මග පෑදූ ප්‍රධානතම සිදුවීම වාර්තා වන්නේ 1967 මැයි 13 වනදාය. එදින සෝවියට් සංගමය විසින් ඊජිප්තුව වෙත අසත්‍ය බුද්ධි තොරතුරක් ලබා දුන්නේය. ඔවුන් කියා සිටියේ ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) බ්‍රිගේඩයන් 11 සිට 13 දක්වා ප්‍රමාණයක් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් සීරුවෙන් තබා ඇති බවයි. මෙම පණිවිඩයත් සමඟ කලාපය උණුසුම් වූ අතර ඊජිප්තුව වහා ක්‍රියාත්මක විය.

ඒ සමඟ කලාපය තුල විශේෂ සිදුවීම් කීපයක් ක්‍රියාත්මක වන්නට විය.

  • හමුදා ඒකරාශී කිරීම: සෝවියට් තොරතුරට ප්‍රතිචාරයක් ලෙස ඊජිප්තුව සිනායි (Sinai) අර්ධද්වීපයේ ඊශ්‍රායල සීමාව ආසන්නයට තම සේනාංක මෙහෙයවීය.
  • එක්සත් ජාතීන්ගේ හමුදාව ඉවත් කිරීම: මැයි 16 වනදා ඊජිප්තුව විසින් සිනායි ප්‍රදේශයේ රැඳී සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියේය.
  • ඊශ්‍රායලයේ ස්ථාවරය: මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක හමුදා (UNEF) තම දේශසීමාවේ රඳවා ගැනීමට කළ ඉල්ලීම ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

යුධ සූදානම

පසුව එළඹුණු දින කිහිපය තුළ මුළු කලාපයම යුධ පිටියක් වීමට සූදානම් විය. ඊජිප්තුව, ඊශ්‍රායලය, ජෝර්දානය සහ සුඩානය තම හමුදාවන් පූර්ණ ලෙස බලමුළු ගැන්වීමට පටන් ගත්හ. සහයෝගීතාවය දක්වමින් ඉරාකයද තම හමුදා බලඇණි ජෝර්දානය වෙත යැවූ අතර, සෞදි අරාබියත් ඕනෑම මොහොතක සටනට අවතීර්ණ වීමට සූදානම් බව ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස මුළු ලෝකයම බලා සිටියදී, මැදපෙරදිග ඉතිහාසය වෙනස් කල ඒ දරුණු සටනට වේදිකාව සැකසී තිබිණි.

තීරණාත්මක හැරවුම් ලක්ෂය

මේ යුද්ධය සඳහාද පදනම් වූ තීරණාත්මක මොහොතක් තිබේ. ඒ 1967 මැයි 22 සහ 23 යන දිනවල ඊජිප්තුව විසින් ටිරාන් සමුද්‍ර සන්ධිය (Straits of Tiran) හරහා ගමන් කරන ඊශ්‍රායල නෞකා අවහිර කිරීමට ගත් තීරණයයි. මෙම උණුසුම් තත්ත්වය හමුවේ ජූනි පළමු වනදා ඊශ්‍රායලය විසින් ජාතික සමගි රජයක් පිහිටුවා ගත් අතර, ජූනි 4 වනදා ඔවුන් අවසාන තීරණයට එළඹුණි: ඒ යුද්ධය ප්‍රකාශ කිරීමටයි.

බල තුලනය

සංඛ්‍යාත්මක දත්ත දෙස බැලීමේදී, ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාව යන රටවලින් සැදි අරාබි සන්ධානය ඊශ්‍රායලයට වඩා ප්‍රබල මට්ටමක පසුවිය.

අංශයඅරාබි සන්ධානයඊශ්‍රායලය
භට පිරිස්240,000100,000
ටැංකි2,500800
ගුවන් යානා957300

 

මෙතරම් විශාල හමුදා පරතරයක් තිබියදීත්, ඊශ්‍රායලය පසුබට වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ ජූනි 5 වනදා ඔපරේෂන් ෆෝකස් (Operation Focus) නමින් දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කිරීමයි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඊජිප්තු ගුවන් හමුදාව මුළුමනින්ම විනාශ කර දැමීමයි.

රැවටීම් සහ බුද්ධි තොරතුරු

ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සැලසුම් කළේ ඉතා සූක්ෂම අයුරිනි. ඔවුන් ලෝකය සහ සතුරන් නොමඟ යැවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළේය:

  • ව්‍යාජ පුවත්: ඊශ්‍රායල සොල්දාදුවන් නිවාඩු ලබා විවේකීව සිටින බව පවසමින් මාධ්‍ය හරහා ව්‍යාජ වාර්තා පතුරුවා හරින ලදී.
  • පුහුණු මෙහෙයුම්: ඔවුන්ගේ ගුවන් නියමුවන් සුපුරුදු පරිදි පුහුණු පියාසර කිරීම්වල නිරත වූ අතර, බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත එම පුහුණුවීම් සැබෑ සටන් බිමකට අතිශය සමාන වන ලෙස සකස් කර තිබුණි.
  • සන්නිවේදන බාධා: ඇමරිකානු රජයට පවා මෙම රහසිගත මෙහෙයුම පිළිබඳ තොරතුරු දැනගැනීමට නොහැකි වන සේ, ඊශ්‍රායලයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සංඥා පද්ධතිවලට (tracking antenna) හානි කිරීමට ඔවුන් පියවර ගත්තේය.

මෙම අසමසම සැලසුම් සහගත බව මධ්‍යයේ සය දින යුද්ධයට මනාව පාර කැපී තිබිණි.

අහස ජයගත් අකුණුසැර මෙහෙයුම: Operation Focus

1967 ජූනි 5 වනදා අලුයම උදාවද්දී මැදපෙරදිග අහස ගිගුම් දුන් ඒ සුවිශේෂී ප්‍රහාරය ලෝක යුධ ඉතිහාස පොත් වෙනස් කරන්නට සමත් විය. ඒ ඊශ්‍රායලය විසින් දියත් කළ Operation Focus/ෆෝකස් මෙහෙයුම නම් අතිශය රහසිගත සහ විස්මිත ගුවන් ප්‍රහාරයයි.

ප්‍රහාරයට පැය 5කට පෙර..

මෙම මෙහෙයුමේ රහසිගතභාවය කෙතරම්ද යත්, ප්‍රහාරයට එක් වූ ඊශ්‍රායල ගුවන් නියමුවන්ට පවා ඒ පිළිබඳව දැනුම් දුන්නේ මෙහෙයුම ආරම්භ වීමට යාන්තම් පැය පහකට පෙරය. ඒ වන විට ඊජිප්තු ගුවන් ආරක්ෂක පද්ධතිය අක්‍රිය මට්ටමක පැවතීම ඊශ්‍රායලයට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය.

ඊජිප්තුව අන්දමන්ද කළ අකුණුසැර

ජූනි 5 වනදා උදෑසන, ඊශ්‍රායලයට අයත් ප්‍රහාරක යානා 200ක් පමණ එකවර අහසට නැඟුණි. ඔවුන්ගේ ඉලක්කය වූයේ ඊජිප්තුවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් 14 කි. කිසිවකුත් බලාපොරොත්තු නොවූ මොහොතක එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඊජිප්තුව සම්පූර්ණයෙන්ම අන්දමන්ද විය.

මේ ප්‍රහාරයේ ප්‍රතිඵලය ලෙස පැය 3ක් වැනි කෙටි කාලයක් තුළ ඊජිප්තු ගුවන් යානා 338ක් විනාශ වූ අතර, නියමුවන් 100කට අධික පිරිසකට තමන්ගේ දිවි අහිමි විය.

කලාපීය ප්‍රතිචාරය සහ ඊශ්‍රායල ආධිපත්‍යය

ඊජිප්තුවට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජෝර්දාන සහ සිරියානු ගුවන් හමුදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එහෙත් ඊශ්‍රායලය ඒ සඳහා පෙර සූදානම්ව සිටියේය. එදිනම පෙරවරු 11:00 ට ක්‍රියාත්මක වූ ඊශ්‍රායල ගුවන් හමුදාව ජෝර්දානය සහ සිරියාවේ ගුවන් තොටුපළවල් ද ඉලක්ක කළේය.

එහිදී ජෝර්දාන ගුවන් යානා 28ක්, සිරියානු ගුවන් යානා 53ක් සහ ඉරාක ගුවන් යානා 10ක් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී.

ජයග්‍රාහී නිමාව

Operation Focus මෙහෙයුම අතිශය සාර්ථක එකක් විය. මුළු සතුරු ගුවන් බලයම පාහේ සුනුවිසුනු කර දමද්දී, ඊශ්‍රායලයට අහිමි වූයේ යානා 19ක් පමණි. මෙම අසමසම ජයග්‍රහණයත් සමඟ යුද්ධයේ ඉතිරි කාලය පුරාවටම අහසේ සම්පූර්ණ බලය තහවුරු කර ගැනීමට ඊශ්‍රායලය සමත් විය.

ගොඩබිම් සටනේ ආරම්භය

දින හයේ යුද්ධය, ප්‍රධාන පෙරමුණු තුනක් ඔස්සේ ක්‍රියාත්මක විය. ඒ සීනායි (Sinai) පෙරමුණ, ජෝර්දාන පෙරමුණ සහ සිරියානු පෙරමුණ වශයෙනි.

යුද්ධය ආරම්භ වන විට සීනායි කලාපයේ ඊජිප්තු සහ ඉශ්‍රායල හමුදා බලමුළු ගැන්වී තිබුණේ මෙලෙසිනි:

  • ඊජිප්තු බලඇණිය: සේනාංක 7කින් සමන්විත විය (සන්නද්ධ සේනාංක 4ක්, පාබල සේනාංක 2ක් සහ යාන්ත්‍රික පාබල සේනාංකයක්). ඊජිප්තුව සතුව භට පිරිස් 100,000ක් සහ ටැංකි 900 – 950ක් පමණ සීනායි අර්ධද්වීපයේ ස්ථානගත කර තිබුණි.
  • ඊශ්‍රායල බලඇණිය: ඊශ්‍රායලය සේනාංක 3ක් යොදවා තිබූ අතර (සන්නද්ධ බ්‍රිගේඩ 6ක්, පාබල බ්‍රිගේඩ 1ක්, යාන්ත්‍රික පාබල බ්‍රිගේඩ 1ක් සහ පැරෂුට් භට බ්‍රිගේඩ 3ක්), ඔවුන්ගේ මුළු ශක්තිය භටයින් 70,000ක් සහ ටැංකි 700කට සීමා විය.

ඊශ්‍රායලයේ සටන් උපායමාර්ගය:

ඊශ්‍රායලයේ සැලසුම වූයේ මීට පෙර පැවති සීනායි යුද්ධයේදී භාවිතා කළ මධ්‍යම සහ දකුණු මාර්ග වෙනුවට, මෙවර උතුරු සහ මධ්‍යම මාර්ග ඔස්සේ පහර දී ඊජිප්තුව මවිතයට පත් කිරීමයි. ගොඩබිම් ප්‍රහාරයට සමගාමීව ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීම ද ඔවුන්ගේ උපායමාර්ගයේ ප්‍රධාන කොටසක් විය.

ජූනි මස 5 වැනිදා පෙරවරු 7:50ට යුධ පිටිය සක්‍රීය විය. මේජර් ජෙනරාල් ඊශ්‍රායල් තල් (Israel Tal) ගේ නායකත්වයෙන් යුත් උතුරුදිග ඊශ්‍රායල සේනාංකය ගාසා තීරය හරහා අරිෂ් (Arish) නගරය දෙසට සිය ගමන ආරම්භ කළේය. ඔවුන්ගේ අරමුණ වූයේ ඛාන් යුනිස් (Khan Yunus) වට කර අල්ලා ගැනීමයි. ඒ අතරතුර ඊශ්‍රායල පැරෂුට් භටයින්ට රෆා (Rafa) ප්‍රදේශය අත්පත් කර ගැනීමේ වගකීම පැවරුණි.

ඊජිප්තුවේ ප්‍රතිචාරය සහ දරුණු සටන්

ආරම්භයේදී ඊජිප්තු හමුදාවන්ගෙන් එතරම් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වූයේ නැත. ඊට හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරය ප්‍රධාන ප්‍රහාරයක් නොව, අවධානය වෙනතකට යොමු කිරීම සඳහා කරන ලද්දක් බවට ඊජිප්තු බුද්ධි අංශ නිගමනය කර තිබීමයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ 60 වැනි සන්නද්ධ බ්‍රිගේඩය ඉදිරියට ඇදෙන විට ඊජිප්තු ප්‍රතිරෝධය ක්‍රමයෙන් දැඩි විය. එනමුත් එම බාධක මැඩපවත්වමින් පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ ඛාන් යුනිස් දුම්රිය මංසන්ධිය වෙත ළඟා වීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. අනතුරුව ෂියා සවිඩ් (Shia Zaweed) ප්‍රදේශයේදී ඊජිප්තු හමුදා දැඩි ලෙස සටන් කළ ද ඊශ්‍රායල සතු ගුවන් බලය හමුවේ ඔවුන්ට පරාජය වීමට සිදු විය.

අරිෂ් (Arish) නගරයේ සැඟවුණු අනතුර

ජූනි 6 වැනිදා පෙරවරු 8 වන විට ඊශ්‍රායලයේ 79 වැනි සන්නද්ධ බලඇණිය සහ 7 වැනි බ්‍රිගේඩය අරිෂ් නගරයට ඇතුළු විය. නගරය අතිශයින්ම නිහඬව පැවති අතර, එය සැකකටයුතු තත්වයක් විය. ඊළඟ මොහොතේ එම සැකය සැබෑ කරමින්, නගරයේ ගොඩනැගිලිවල බැල්කනි සහ ජනෙල් තුළ සැඟවී සිටි ඊජිප්තු සෙබළුන් ඊශ්‍රායල හමුදාවට එකවරම වෙඩි තැබීමට පටන් ගත්හ.

නගරයේ පාලනය නතු කර ගැනීම සඳහා ඉතා දරුණු සටනක් ඇවිලී ගිය අතර, ඊශ්‍රායලයට නගරයේ පූර්ණ බලය තහවුරු කර ගැනීමට හැකි වූයේ අමතර බලඇණි කැඳවීමෙන් පසුවය.

උතුරුදිග සේනාංකවල යුද උපක්‍රම සහ අබු-අගේලා බිඳවැටීම

ඊශ්‍රායල හමුදාවේ උතුරුදිග බලසේනා ඉතා සැලසුම්සහගත ලෙස කොටස් දෙකකට බෙදී තම මෙහෙයුම් දියත් කළහ. ඉන් එක් කණ්ඩායමක් සූවස් ඇළ දෙසට සිය ජයග්‍රාහී ගමන අඛණ්ඩව සිදු කළ අතර, දෙවන කණ්ඩායම දකුණු දෙසට හැරී බිර්ලාෆාන් (Birla Fan) සහ ජබල් (Jabal) ප්‍රදේශ තම ග්‍රහණයට නතු කර ගත්හ.

  • අබු-අගේලා සටන (ජුනි 6) : 1967 ජුනි 6 වන දින, මේජර් ජෙනරාල් ඒරියල් ෂැරොන් යටතේ වූ ඊශ්‍රායලයේ 38 වන සන්නද්ධ බලසේනාව (සමන්විත වූයේ භටයින් 14,000 ක් සහ ටැංකි 150 කින් පමණි) සහ මේජර් ජෙනරාල් සාදි නජිබ් යටතේ වූ ඊජිප්තු 2 වන පාබල සේනාංකය (භටයින් 16,000 ක් සහ ටැංකි 90 ක්) මුහුණට මුහුණ හමු විය.
  • උපක්‍රමික හමුදා පැරෂුට් කණ්ඩායම : ඊශ්‍රායල පැරෂුට් භටයින් ඊජිප්තු ආරක්ෂක වළලු පිටුපසට ගොඩබැසීමත් සමඟ ඊජිප්තු කාලතුවක්කු බලකාය අඩපණ වී දැඩි ව්‍යාකූලත්වයක් ඇති විය. මෙම ව්‍යාකූලත්වය ප්‍රයෝජනයට ගත් ඊශ්‍රායල හමුදාව උම්-කතෙෆ් බලකොටුව අත්පත් කර ගැනීමට සමත් විය. මීළඟට ඇවිළී ගියේ ඉතා දරුණු යුධ ටැංකි සටනකි. අවසානයේ ඊජිප්තු ටැංකි 40ක් සහ ඊශ්‍රායල ටැංකි 19ක් විනාශ වෙමින් සටන ඊශ්‍රායලයේ ජයග්‍රහණයෙන් අවසන් විය.

ඊජිප්තු පසුබැසීම සහ සයිනායි අර්ධද්වීපයේ බිඳවැටීම

අබු-අගේලා ප්‍රදේශයේ බිඳවැටීමත් සමඟ කලබලයට පත් වූ ඊජිප්තු ෆීල්ඩ් මාර්ෂල් අබ්දෙල් හකීම් අමර්, සයිනායි හි සිටි සියලුම ඊජිප්තු ඒකකවලට වහාම පසුබසින ලෙස නියෝග කළේය. එහෙත් එම පසුබැසීම සිදු විය යුතු පිළිවෙළක් හෝ ක්‍රමවේදයක් ගැන නිසි උපදෙස් නොලැබීම නිසා ඊජිප්තු හමුදාවේ ශක්තිය සහ මානසිකත්වය තවදුරටත් බිඳ වැටුණි. ඉන් පසු ගත වූ දින කිහිපය ඊජිප්තු හමුදාවන්ට ඉතා අවාසනාවන්ත විය.

  • නැපාම් බෝම්බ ප්‍රහාර: ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද දැවැන්ත නැපාම් බෝම්බ ප්‍රහාර හමුවේ ඊජිප්තු සෙබළුන්ගේ සටන්කාමීත්වය හීන විය.
  • උපායමාර්ගික අවහිර කිරීම්: පසුබසින ඊජිප්තු හමුදාවන් ලුහුබඳිනවා වෙනුවට, ඔවුන්ට සයිනායි සිට ඊජිප්තු ප්‍රධාන ගොඩබිමට යාමට ඇති ප්‍රධාන කපොලු (Passes) තුන අල්ලා ගැනීමට ඊශ්‍රායලය තීරණය කළේය. මෙම කපොලු මාරක උගුල් බවට පත් වූ අතර, එක් දිනකදී පමණක් ඊජිප්තු සෙබළුන් දසදහසක් (10,000) පමණ මින් මිය ගියහ.

ජයග්‍රහණය සහ කලාපීය දේශපාලනය

ජුනි 7 වන දින ෂර්ම් එල්-ෂීක් (Sharm el-Sheikh) සහ ජුනි 8 වන දින රස් සුදාර් (Ras Sudr) අල්ලා ගැනීමත් සමඟ මුළු සයිනායි අර්ධද්වීපයේම පාලනය ඊශ්‍රායලය සතු විය. අවසානයේ ජුනි 9 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැදිහත්වීමෙන් දෙපාර්ශවය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඊශ්‍රායලයට ජෝර්දානය සහ සිරියාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවූ අතර ඔවුන් ජෝර්දානයට මධ්‍යස්ථව සිටින ලෙස ඇරයුම් කළහ. එහෙත් ඊජිප්තු ජනාධිපති නසාර් විසින් ජෝර්දානයේ හුසේන් රජුට වැරදි තොරතුරු ලබා දෙමින්, ඊජිප්තුව යුද්ධයෙන් ජයග්‍රහණය කරන බව පවසා ඔහුවද යුද්ධයට පොළඹවා ගන්නා ලදී.

ඊශ්‍රායලයේ සාම පණිවිඩය සහ ජෝර්දානයේ ප්‍රතිචාරය

යුද්ධය ආරම්භ වූ මොහොතේ, ජෝර්දානය සමඟ අනවශ්‍ය ගැටුමක් ඇති කර නොගැනීමට ඊශ්‍රායලය දැඩි උත්සාහයක නිරත විය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හරහා සාමකාමීව සිටින ලෙස ඊශ්‍රායලය ජෝර්දානයෙන් ඉල්ලා සිටියද, එවක සිටි හුසේන් රජු (King Hussein) ප්‍රකාශ කළේ “දැන් ප්‍රමාද වැඩි” බවයි. ඒ වන විටත් ජෝර්දාන ගුවන් හමුදාව ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ගමන් ආරම්භ කර තිබුණි.

ජෝර්දාන සහ ඉරාක ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල පාලනයේ තිබූ බටහිර ජෙරුසලමට දැඩි හානි සිදු විය. මෙහිදී ඊශ්‍රායල සෙබළුන් 16ක් සහ සිවිල් වැසියන් 20ක් මිය ගිය අතර ගොඩනැගිලි 900ක් පමණ විනාශ විය.

ඊශ්‍රායලය මෙයට පිළිතුරු දුන්නේ ‘ඔපරේෂන් ෆෝකස්’ (Operation Focus) ගුවන් මෙහෙයුම මගිනි. එමගින් ජෝර්දානයේ ගුවන් හමුදා යටිතල පහසුකම් විනාශ කරමින් ගුවන් ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට ඊශ්‍රායලය සමත් විය.

ජෙරුසලම වටලෑම

ජූනි 5 වැනිදා සවස් වන විට ඊශ්‍රායල හමුදාව නැගෙනහිර ජෙරුසලම වට කළේය. දකුණින් ජෙරුසලම් බ්‍රිගේඩයත්, උතුරින් හෙරල් (Harel) සහ 55 වන පැරෂුට් බ්‍රිගේඩයත් මෙහෙයුම් දියත් කළහ.

මෙම යුද්ධයේ අතිශය දරුණුතම සටනක් ඇමියුනිෂන් හිල් (Ammunition Hill) හිදී සිදු විය. ජෝර්දාන හමුදාවේ ප්‍රබල ප්‍රතිරෝධය හමුවේ ඊශ්‍රායලයේ ප්‍රහාරක නිලධාරීන් දෙදෙනෙකු හැර අනෙක් සියල්ලන්ම අහිමි වුවද පැය හතරක සටනකින් පසු එම ඉලක්කය ජය ගැනීමට ඊශ්‍රායලය සමත් විය. අනතුරුව ඔවුහු මවුන්ට් ස්කෝපස් (Mount Scopus) සහ තවත් ප්‍රදේශ රැසක බලය අත්පත් කර ගත්හ.

යුද්ධයේ තවත් හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක්:

  • රජයේ නිවස (Government House): ජෝර්දාන හමුදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පවා ප්‍රහාරක මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ නමුත්, ඊශ්‍රායලයේ 161 වන බලඇණිය එය අත්පත් කර ගනිමින් ජෝර්දානුවන් බෙත්ලෙහෙම දෙසට පලවා හැරියේය.
  • ප්‍රධාන නගර යටත් කරගැනීම: ජූනි 5 සවස් වන විට ලැට්රන් (Latrun) සහ රමල්ලා (Ramallah) නගර ඊශ්‍රායලයට නතු විය.
  • අබු තෝර් (Abu Tor): 163 වන පාබල බලඇණිය විසින් අබු තෝර් ප්‍රදේශය අත්පත් කරගැනීමත් සමඟ පැරණි ජෙරුසලම් නගරය, බෙත්ලෙහෙම සහ හෙබ්‍රොන්වලින් හුදෙකලා විය.

පැරණි නගරයේ ජයග්‍රහණය

ජූනි 7 වැනිදා, ඊශ්‍රායල රජයේ යම් යම් පැකිළීම් මධ්‍යයේ වුවද ආරක්ෂක අමාත්‍ය මෝෂේ දයාන් (Moshe Dayan) විසින් පැරණි ජෙරුසලම් නගරයට (Old City) ඇතුළු වන ලෙස නියෝග කළේය. ශුද්ධ වූ ස්ථානවලට හානි වේ යැයි බියෙන් මෙම මෙහෙයුම සඳහා යොදා ගත්තේ පැරෂුට් භටයින් පමණි.

ජෝර්දාන හමුදා පසුබැසීම නිසා ඉතා අඩු ප්‍රතිරෝධයක් මධ්‍යයේ ඊශ්‍රායලය පැරණි නගරයේ පාලනය අතට ගත්තේය. එදිනම

  • ජුදෙයා (Judea)
  • හෙබ්‍රොන් (Hebron)
  • බෙත්ලෙහෙම (Bethlehem)
  • නැබ්ලස් (Nablus)

යන ප්‍රදේශ සියල්ල ඊශ්‍රායල හමුදාව සතු විය. ජෝර්දාන හමුදාවේ ඉතිරි පිරිස ජෝර්දානය දෙසට පසුබැස ගිය අතර, මෙම පෙරමුණේ සම්පූර්ණ ජයග්‍රහණය ඊශ්‍රායලය සතු විය.

සිරියානු ආක්‍රමණය සහ ගෝලාන් කඳුකරයේ තීරණාත්මක සටන

1967 යුද්ධයේදී ඊජිප්තුව ලැබූ මුල්කාලීන ජයග්‍රහණ පිළිබඳ වාර්තා විශ්වාස කළ සිරියාව, ඊශ්‍රායලයේ ගලීල (Galilee) ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට තම ගුවන් හමුදාව යෙදවීය. කෙසේ වෙතත්, එම උත්සාහය අතරමගදී ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල ගුවන් යානා සමත් විය.

ගුවන් ප්‍රහාරවලින් නොනැවතුණු සිරියානු හමුදාව, ටෙල් ඩාන් (Tel Dan) සහ බානියාස් (Banias) යන ජල පවිත්‍රාගාර අත්පත් කරගැනීමේ අරමුණින් කුඩා පරිමාණයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේය. නමුත් ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) හමුවේ එම ප්‍රහාරය ද අසාර්ථක විය.

සිරියාව අසාර්ථක වීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවේය:

  • ඊශ්‍රායලයේ පූර්ණ ගුවන් බලය.
  • සිරියානු ඒකක අතර පැවති දුර්වල සන්නිවේදනය.
  • සිරියානු ටැංකිවල පළල, ඒවාට ගමන් කිරීමට තිබූ පාලම්වලට වඩා වැඩි වීම.

මෙම බාධක හේතුවෙන් සිරියාව ගොඩබිම් ආක්‍රමණ අතහැර දමා ගුවන් ප්‍රහාර කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට තීරණය කළේය.

ජුනි 5 වන දින සන්ධ්‍යාවේදී ඊශ්‍රායලය සිරියානු ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින්ද ‘ෆෝකස් මෙහෙයුම’ දියත් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිරියානු ගුවන් හමුදාවෙන් තුනෙන් දෙකක්ම විනාශ වූ අතර ඉතිරි කොටස යුද්ධයෙන් ඉවත් කිරීමට සිදුවිය.

සිරියාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීම පිළිබඳව ඊශ්‍රායල නායකත්වය දෙගිඩියාවකින් පසු විය. එක් අතකින් සිරියාව ගෝලාන් කඳුකරයේ (Golan Heights) සිට දිගින් දිගටම ඊශ්‍රායලයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටි අතර, අනෙක් අතින් බලකොටු සහිත උස් කඳුකරයකට පහර දීම අසීරුතම සටනක් (Uphill battle) විය.

ගෝලාන් කඳුකරය අත්පත් කරගැනීම

සිරියානු හමුදාව දුර්වල වී ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, ඊශ්‍රායල ආරක්ෂක ඇමති මෝෂේ දයාන් රජයේ පූර්ව අනුමැතියකින් තොරව ගෝලාන් කඳුකරය ආක්‍රමණය කිරීමට නියෝග කළේය. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ සිරියානු ආරක්ෂක ව්‍යුහය සහ සෙබළුන්ගේ මානසිකත්වය දැඩි ලෙස බිඳ වැටුණි.

කර්නල් ඇල්බට් මැන්ඩ්ලර් යටතේ අටවන සන්නද්ධ බලකාය දුෂ්කර භූමියක් ඔස්සේ ඉදිරියට ඇදුණු අතර, දෙපාර්ශවයටම විශාල ජීවිත හානි සිදුවිය. අවසානයේ ගුවන් සහාය ඇතිව සෝරා කලර් (Zora Color) සහ එයින්ෆිට් (Einfit) බලකොටු අල්ලා ගැනීමට ඔවුන් සමත් විය. ඊශ්‍රායල 181 වන බලඇණිය දරුණු සටනකින් පසු දර්දාරා (Dardara) සහ තල්හිලාවු (Philau) යන මුරපොළවල් අත්පත් කරගත්තේය.

දින හයේ යුද්ධයේ අවසානය සහ ඉන් ඇති වූ දේශපාලන සුළි කුණාටුව

ජුනි 9 වන දින සන්ධ්‍යාව වන විට ඊශ්‍රායල හමුදා සානුව වෙත ළඟා වූ අතර, ජුනි 10 අලුයම වන විට බලකායන් අටක් දෙවන ආරක්ෂක වළල්ලට පහර දීමට සූදානමින් සිටියහ. කෙටි කලකින් පර්පල් ලයින් (Purple Line) නමින් හැඳින්වෙන සීමාව ඔස්සේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් විය. ජුනි 11 වන විට සියලුම යුද කටයුතු නිල වශයෙන් නතර විය.

බරපතළ ජීවිත හානි

යුද්ධයක අවසානය සැමවිටම සනිටුහන් වන්නේ රුධිරය සහ කඳුළු මධ්‍යයේයි. මෙම කෙටි කාලීන යුද්ධයෙන් ද දෙපාර්ශවයටම අතිමහත් ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණා:

  • ඊශ්‍රායලය : සෙබළුන් 983 ක්
  • ඊජිප්තුව : සෙබළුන් 15,000 ක්
  • ජෝර්දානය : සෙබළුන් 700 ක්
  • සිරියාව : සෙබළුන් 2,500 ක් පමණ

ඊශ්‍රායලයේ දැවැන්ත භූමි අත්පත් කරගැනීම්

දින සයක සටනකින් පසු ඊශ්‍රායලය අත් කරගත් ජයග්‍රහණය විශ්මයජනකයි. ඔවුන් තීරණාත්මක භූමි ප්‍රදේශ රැසක බලය තමන් සතු කරගත්තා:

  • ගාසා තීරය සහ සීනායි අර්ධද්වීපය (ඊජිප්තුවෙන්)
  • බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම (ජෝර්දානයෙන්)
  • ගෝලාන් කඳුකරය (සිරියාවෙන්)

මෙම ජයග්‍රහණයත් සමඟ අලුතින් අත්පත් කරගත් ප්‍රදේශවල විසූ මිලියනයකට අධික අරාබි ජාතිකයන් සෘජුවම ඊශ්‍රායල පාලනය යටතට පත් වුණා.

මෙම ජයග්‍රහණයේ රහස කුමක්ද?

බහුපාර්ශවීය සටනකදී ඊශ්‍රායලය ලද මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස කරුණු කිහිපයක් තිබුණා. ඔවුන් සතු වූ කාර්යක්ෂම හමුදා නායකත්වය, භට පිරිස් සතු වූ උසස් පුහුණුව සහ ඉතා නිවැරදි බුද්ධි තොරතුරු වාර්තා මේ සඳහා සෘජුවම බලපෑවා.

නොනැවතී ඇවිලුණු ගැටුම්

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය කලාපයට සාමය උදා කළේ නැහැ. සය දින යුද්ධය යනු නිමාවක් නොව, තවත් දරුණු ගැටුම් පෙළක ආරම්භය සටහන් කලා. ඉන් වසර හයකට පසුව, මෙම නොසන්සුන්කාරී වාතාවරණය තවත් මහා පරිමාණ යුද්ධයක් කරා වර්ධනය වූයේ මුළු ලෝකයම යළිත් කම්පනයට පත් කරමින්.

තුන්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් කුමන ආයුධ භාවිතා කරත්දැයි මම නොදනිමි. නමුත් අනතුරුව එලැඹෙන සිව්වන ලෝක යුද්ධයේදී සටන් කරන්නේ පොලු මුගුරු හා ගල්මුල් වලින් බව මම හොඳාකාරවම දනිමි – ඇල්බට් අයින්ස්ටයින්

***

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *