Travel

ලෝකය අත්විඳිමු, මෘදුව පියවර තබමින්..


ලෝකය අත්විඳිමු, දුර ගමන් කරමු

නමුත් අපේ පියවර තවත් මෘදුව තබමු.

මතක එකතු කරගනිමු, පෘථිවියට බරක් නොවී..

අපෙන් පසුත් මේ ලෝකයට,

සුන්දරව හුස්ම ගන්න ඉඩ තබා යමු.. 🌍🌱

***

මේ ලිපිය, @vagabrothers යූටියුබ් චැනලයේ 12 Tips For Sustainable Travel වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.

Cover image credit goes to tours-and-travel.de

***

“ලෝකය යනු පොතකි. සංචාරය නොකරන්නන් කියවන්නේ එහි එක පිටුවක් පමණි.”  — ශාන්ත ඔගස්ටින්

සංචාරය යනු හුදෙක් විනෝදාංශයක් පමණක් නොවේ; එය අපව අධ්‍යාත්මිකව පෝෂණය කරන, විවිධ සංස්කෘතීන් සමඟ අපව යා කරන සහ ලෝකයේ විවිධත්වය අගය කිරීමට අපට උගන්වන මහා ශිල්පයකි. එහෙත්, අප නොදැනුවත්වම, අපේ පා සටහන් පරිසරයට විනාශකාරී විය හැකිය. අප දැකීමට ආශා කරන ඒ සුන්දර වෙරළ තීරයන්, හරිත වනාන්තර සහ හිම කඳු අපේම ක්‍රියාකලාපය නිසා විනාශ වී යාම උත්ප්‍රාසාත්මක කරුණකි.

එම නිසා සංචාරය යනු ලෝකය දකින්නත් ඒ අතරේම පරිසරය රැකගන්නත් සකසා ඇති එකම වේදිකාවක් ද වේ. අපේ අනාගත පරපුරටත් මේ සුන්දරත්වය ඉතිරි කළ හැක්කේ අපේ සංචාරක පුරුදු වෙනස් කර ගැනීමෙන් පමණි. මෙම ලිපියෙන් අප අද සාකච්ඡා කරන්නේ පරිසරයට අවම බලපෑමක් කරමින්, වඩාත් තිරසාර ලෙස (Sustainably) ලොව වටා සැරිසරන්නේ කෙසේද යන්නයි.

”සංචාරය කරමු, නමුත් පෘථිවිය විනාශ නොකරමු”

1. ගුවන් ගමන්: නොකියාම බැරි කටුක ඇත්ත

සංචාරක ක්ෂේත්‍රයේ පරිසර දූෂණය ගැන කතා කරන විට මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ගුවන් ගමන් දෙසටයි. මුළු මහත් සංචාරක ක්ෂේත්‍රය විසින් වා තලයට මුසු කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් (Carbon Footprint) 40%කට වඩා වගකියනු ලබන්නේ ගුවන් ගමන් ය. 

උදාහරණයක් ලෙස, ඇමරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට (LAX සිට NYC) සිදු කරන එක් ගුවන් ගමනකින් නිකුත් වන වායු ප්‍රමාණය, සාමාන්‍ය මෝටර් රථයකින් වසරක් පුරා නිකුත් කරන වායු ප්‍රමාණයෙන් 20%ක් තරම් විශාලය.

නූතන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වුවත්, දිනෙන් දින ඉහළ යන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව නිසා එම වාසිය පරිසරයට දැනෙන්නේ නැත. අප සංචාරය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු යැයි මින් අදහස් නොකෙරේ. නමුත් අප තේරුම් ගත යුත්තේ ගෝලීය පුරවැසියෙකු ලෙස දේශගුණික විපර්යාස වැළැක්වීමට අපට විශාල වගකීමක් ඇති බවයි.

අනවශ්‍ය ගුවන් ගමන් මඟ හැරීම එක් විසඳුමකි. ඔබට ඉතා ඈත රටකට යාමට අවශ්‍ය නම් ගුවන් ගමනක් අත්‍යවශ්‍ය වේ. එහෙත්, වසරක් තුළ සිදු කරන අනවශ්‍ය ගුවන් ගමන් අවම කර ගැනීමෙන් එම බලපෑම සමතුලිත කළ හැකිය. රැස්වීම් සඳහා විදෙස් ගත වීම වෙනුවට වීඩියෝ තාක්ෂණය (Zoom/Teams) භාවිත කිරීම වැනි විකල්පයක් ඊට උපකාරි වේ. ඔබ ගමනාන්තයට ළඟා වූ පසු රට ඇතුළත සංචාරය කිරීමට ගුවන් යානා වෙනුවට බස් රථ හෝ දුම්රිය භාවිත කිරීම ද වඩාත් පරිසර හිතකාමී වේ.

2. දේශීය සංචාරක අත්දැකීම් අගය කරමු

 නවමු සොයාගැනීම යනු අලුත් දර්ශන දැකීමම නොව, අලුත් ඇසකින් ලෝකය දෙස බැලීමයි. — මාසෙල් ප්‍රොස්ට්

අප බොහෝ දෙනෙක් සිතන්නේ වටිනා සංචාරක අත්දැකීමක් ලැබීමට නම් පෘථිවියේ අනෙක් කෙළවරට යා යුතු බවයි. අපි බාලි (Bali) හෝ ස්විට්සර්ලන්තය ගැන සිහින දකිද්දී, අපේම ගෙවත්තේ ඇති සුන්දරත්වය අමතක කරමු. ප්‍රකට ලේඛක හෙන්රි ඩේවිඩ් තොරෝ වසර ගණනාවක් පයින් සංචාරය කරමින් ගැඹුරු දාර්ශනික අදහස් ලබා ගත්තේ තමා ජීවත් වූ ප්‍රදේශය තුළමය.

විදෙස් ගත වීමට පෙර, ඔබේ රට තුළම ඇති ජාතික උද්‍යාන, කඳු පන්ති සහ වෙරළ තීරයන් ගවේෂණය කරන්න. පාපැදියෙන් හෝ පයින් යන එවැනි දේශීය සංචාර ඔබේ කාබන් වායූ මුදා හැරීම අවම කරනවා පමණක් නොව, දේශීය ආර්ථිකයට ද විශාල ශක්තියක් වේ.

3. කාබන් විමෝචනය සමතුලිත කිරීම (Carbon Offsetting)

ඔබට ගුවන් ගමනක් මඟහැරිය නොහැකි නම්, ඒ සඳහා කාබන් ඕෆ්සෙට් /Carbon Offset ක්‍රමය භාවිත කළ හැකිය. මෙහිදී ඔබේ ටිකට් පතේ මිලට අමතරව කුඩා මුදලක් ගෙවා, එම මුදල ලොව පුරා ක්‍රියාත්මක වන තිරසාර ව්‍යාපෘති සඳහා (උදා: ඇමේසන් වනාන්තර සුරැකීම) යොමු කළ හැකිය. මෙය ගුවන් ගමන් මඟින් සිදුවන හානිය සම්පූර්ණයෙන්ම නැති නොකළත්, එය කිසිවක් නොකර සිටීමට වඩා, බෙහෙවින් යහපත් පියවරකි.

4. මන්දගාමී සංචාරය (Slow Travel) යනු කුමක්ද?

මෙය අද වන විට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින සංකල්පයක්ය. තවද, මෙය Slow Food Travel සංකල්පයට සමානය. අප සති දෙකක නිවාඩුවක් ලැබුණු විට රටවල් පහකට හෝ නගර දහයකට යාමට උත්සාහ කරමු. මෙහිදී අප වැඩි කාලයක් ගත කරන්නේ ගුවන් යානා, බස් හෝ ටැක්සි තුළයි.

මීට වඩා හොඳ ක්‍රමයක් වන්නේ, එක් ප්‍රදේශයක් තෝරාගෙන එහි සතියක් හෝ දෙකක් නතර වීමයි. එහිදී දේශීය නිවසක් කුලියට ගැනීම, පයින් ගමන් කරමින් ගම ගවේෂණය කිරීම, ගමේ මිනිසුන් සමඟ කතාබහ කර ඔවුන්ගේ සංස්කෘතිය අත්විඳීම ආදී පියවරයන් ඇතුලත් වේ. මෙමඟින් ඔබට ලැබෙන අත්දැකීම වඩාත් ගැඹුරු වන අතර අනවශ්‍ය ප්‍රවාහන වියදම් සහ පරිසර දූෂණය ද අවම වේ.

5. ගමන් මලු ඇසිරීම (Luggage Packing) සහ අවම ලෙස භාවිතය

ඔබ රැගෙන යන ගමන් මලු සංඛ්‍යාව පවා පරිසරයට බලපාන බව ඔබ දන්නවාද? ගුවන් යානයක බර වැඩි වන තරමට වැය වන ඉන්ධන ප්‍රමාණය ඉහළ යයි. එබැවින් සැහැල්ලුවෙන් ඇසුරුම් කිරීම (Pack Light) ඉතා වැදගත් වේ. එමෙන්ම, ඔබේ බෑගය තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය තිරසාර දේවල් කිහිපයක් මෙන්න:

  • නැවත භාවිත කළ හැකි වතුර බෝතලය: ලොව පුරා වසරකට ප්ලාස්ටික් බෝතල් බිලියන ගණනක් බැහැර කෙරේ. ජලය පිරිසිදු කළ හැකි පෙරනයක් (SteriPEN වැනි) සහිත බෝතලයක් ගෙන යාමෙන් ප්ලාස්ටික් භාවිතය 100%ක්ම නැවැත්විය හැකිය.
  • රෙදි බෑග්: පොලිතින් බෑග් වෙනුවට සාප්පු යාමට සහ කිලිටි ඇඳුම් දැමීමට රෙදි බෑග් භාවිත කරන්න.
  • නැවත භාවිත කළ හැකි භාජන සහ හැඳි ගෑරුප්පු: උණ බම්බු වලින් සැදූ හැඳි ගෑරුප්පු කට්ටලයක් ළඟ තබා ගැනීමෙන් වීදි ආහාර ගන්නා විට ප්ලාස්ටික් හැඳි භාවිතය වැළැක්විය හැකිය.

6. වැසිකිළි ද්‍රව්‍ය (Toiletries) සහ රසායන ද්‍රව්‍ය

සංචාරයේදී අප භාවිත කරන සබන්, ෂැම්පු සහ ශරීරාලේපන අවසානයේ ගලා යන්නේ ගංගා සහ සාගර වලටයි. විශේෂයෙන් පරිසර පද්ධති සංවේදී ප්‍රදේශවල සංචාරය කරන විට:

  • Microbeads සහිත නිෂ්පාදන වළක්වන්න: මේවා ප්ලාස්ටික් අංශු වන අතර මසුන්ගේ ශරීරගත වේ.
  • බැක්ටීරියා හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් නිසාවෙන් දිරාපත් වන (Biodegradable) නිෂ්පාදන: Dr. Bronner’s වැනි සබන් වර්ග භාවිත කරන්න.
  • හෝටල්වල දෙන කුඩා ප්ලාස්ටික් බෝතල්: ඒ වෙනුවට නිවසේ ඇති ලොකු බෝතල් වලින්, කුඩා ඒ වාගේම නැවත භාවිත කළ හැකි බෝතල් වලට ජලය පුරවාගෙන යන්න.

7. ආහාර සහ දේශීය ආර්ථිකය

සංචාරයක සුන්දරම කොටස වන්නේ දේශීය ආහාර රස විඳීමයි. ජාත්‍යන්තර ක්ෂණික ආහාර දාමයන් වෙනුවට දේශීය කඩයකින් ආහාර ගන්න. ඒ ඇයිද යත්, එය මිලෙන් අඩු, නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න බවින් ඉහල වන අතරම මුදල් සෘජුවම එම ගම්වැසියන් අතට පත් වේ.

එමෙන්ම, මස් පරිභෝජනය අවම කිරීම ද ඔබේ කාබන් විමෝචනය අඩු කිරීමට ඇති ප්‍රබලම මගකි. සත්ත්ව නිෂ්පාදන සඳහා වැය වන ජලය සහ සම්පත් ප්‍රමාණය අතිවිශාලය. එළවළු සහ පලතුරු වලට මුල් තැන දීම පරිසරයට මෙන්ම ඔබේ සෞඛ්‍යයට ද හිතකරය.

8. සිහිවටන සහ සත්ත්ව සුබසාධනය

සංචාරය නිම වී නිවසට යන විට ඔබ මිලදී ගන්නා සිහිවටනය ගැන දෙවරක් සිතන්න. එය දේශීය කලාකරුවෙකුගේ නිෂ්පාදනයක්ද? නැතහොත් එය සත්ත්ව නිෂ්පාදනයක්ද? (දළ, හම්, කොරල් ආදිය කිසිවිටෙකත් මිලදී නොගන්න).

විශේෂයෙන් සතුන් සම්බන්ධ සංචාරක ක්‍රියාකාරකම් (අලින් පිටේ යාම, ඩොල්ෆින් සමඟ පිහිනීම) පිටුපස විශාල සත්ත්ව හිංසනයක් සැඟවී ඇත. විනෝදය සඳහා සතුන් කූඩු කරනවා වෙනුවට, සතුන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන හෝ ස්වාභාවික රක්ෂිත නැරඹීමට උත්සාහ කරන්න.

9. නවාතැන් ගන්නා ස්ථානය: හෝටල් ද? පරිසර හිතකාමී නවාතැන් ද?

සංචාරක ක්ෂේත්‍රයේ සමස්ත කාබන් විමෝචනයෙන් 20%කට වගකියන්නේ නවාතැන් පහසුකම් සපයන ස්ථානයි. විශාල හෝටල්වල වායු සමීකරණ, විදුලි පහන් සහ දිනපතා තුවා සේදීම නිසා විශාල සම්පත් ප්‍රමාණයක් නාස්ති වේ.

  • Eco-lodges: පරිසර හිතකාමී ලෙස ඉදි කළ නවාතැන් තෝරාගන්න.
  • හෝටල් වල නීතී රීතී අනුගමනය කරන්න: “ඔබේ තුවාය නැවත පාවිච්චි කළ හැකි නම් එය එල්ලා තබන්න” වැනි උපදෙස් පිළිපදින්න.
  • Airbnb: හෝටලයකට වඩා දේශීය නිවසක නවාතැන් ගැනීම පරිසර බලපෑම අඩු කිරීමට මෙන්ම දේශීය සංස්කෘතියට සමීප වීමටත් මගකි.

10. “පා සටහන් පමණක් ඉතිරි කරන්න”

“සොබාදහම අපට උරුම වූයේ අපේ මුතුන් මිත්තන්ගෙන් නොවේ, එය අපට ලැබුණේ අපේ දරුවන්ගෙන් ලබාගත් ණයක් ලෙසයි.”  — ඉපැරණි ඉන්දියානු කියමනක්

ඔබ සංචාරය කරන ඕනෑම තැනක Plogging (කායික සුවතාවය සඳහා දුවනවානම් ඒ අතරේ කුණු ඇහිදීම) වැනි ක්‍රියාකාරකම් වල නිරත විය හැකිය. වෙරළක ඇවිදින විට දකින ප්ලාස්ටික් කැබැල්ලක් අහුලා කුණු කූඩයට දැමීමෙන් ඔබ මුළු පෘථිවියටම සේවයක් කරයි.

අවසානයේ, තිරසාර සංචාරකරණය යනු සංචාරය කිරීම නැවැත්වීම නොවේ. එය වඩාත් දැනුවත්භාවයකින් (Mindfulness) යුතුව සංචාරය කිරීමයි.

  • අඩු වාර ගණනක් ගුවන් ගමන් වල නිරත වන්න.
  • පයින් හෝ පොදු ප්‍රවාහනයෙන් ගමන් කරන්න.
  • හැකි පමණින් ප්ලාස්ටික් ප්‍රතික්ෂේප කරන්න.
  • අදාල දේශයේ මිනිසුන්ට සහ සතුන්ට පවා ගරු කරන්න.

අපේ මේ පුංචි පුංචි වෙනස්කම් එකතු වූ විට, මතු පරපුරටත් අප අද දකින මේ සුන්දර ලෝකය ඒ අයුරින්ම දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

සංචාරය කියන්නේ දුර ගමන් කරන එක විතරක් නොවේ, එය අපි ලෝකය පිළිබඳව කොච්චර ආදරයෙන් සලකා බැලුවාද යන්නයි.

අපි යන හැම පියවරක්ම සලකුණු කරන්නේ මාර්ගයක් නොව, අපේ වගකීමයි.

ඒ නිසා — මතක විතරක් ආපසු රැගෙන එමු,

පියවර මෘදුව තබා, ලෝකය අපෙන් පසුත්, සුන්දරව හුස්ම ගන්න ස්ථානයක් ලෙසින්ම තබා යමු..

***

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *