සජිත්ගෙන් අලුත් වැඩක්…. නව ඉදිරිගාමී පියවරක්….

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 56 වන සේනාංකය නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගය යන සංකල්පය ක්‍රමයෙන් යල් පැන ගොස් ඇති නිසාත් එයට සහයෝගය දුන් සුළු ජාතික පක්ෂ වෙන්ව ගොස් තනි සිංහල බෞද්ධ බලවේගයක් ලෙස සජිත් ප්‍රමුඛ පිරිස ඉතිරිව ඇති නිසාත් තව දුරටත් සමගි ජන බලවේගය යන අසාත් සාලි මහතාගේ සමගි පෙරමුණට සමාන නමක් භාවිතා කිරීම නුසුදුසු බව විපක්ෂ නායක ආර්යා ගරු ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් පසුගිය දා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පෙන්වා දී ඇත. එමෙන්ම සමගි ජන බලවේගය පිහිටුවීම සඳහා අපේ ජාතික පෙරමුණ පක්ෂය (ටෙලිෆෝන් පක්ෂය) ලබා දුන් ඩයනා ගමගේ මහත්මියට තවමත් පක්ෂයේ අයිතිය පැවතීම නිසා පක්ෂයේ නීත්‍යානුකූල පැවැත්මද අනතුරේ වැටෙන බැවින් නව වැඩසටහනක් සහ නව පක්ෂයක් ආරම්භ කිරීම සුදුසු බව සමගි වනිතා පෙරමුණේ ලේකම් ගරු නිරූපා කරුණාරත්න මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට අවධාරණය කර ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය සහ ආශිර්වාදය ද ඉදිරියේදී ලබා ගැනීමට හැකිවන ආකාරයේ සිංහල බෞද්ධ පෙරමුණක් සෑදීම සඳහාත් ඒ සඳහා මාධ්‍ය සහ සන්නිවේදන සැලැස්මක් ආරම්භ කිරීමටත් ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් එරානන්ද හෙට්ටිආරච්චි මහතා වෙත භාරදී ඇත. මෙයට පෙර සද්ජාතිකත්වය නම් සංකල්පය සජිත් ප්‍රේමදාස මහතාට නිර්මාණය කරදුන් ප්‍රවීණ මාධ්‍යවේදී එරානන්ද හෙට්ටිආරච්චි මැතිතුමාණන් විසින් ඒ අනුව ගරු විපක්ෂ නායක ආර්යාවගේ පූර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම ඇතිව නව වැඩසටහන 56 වන සේනාංකය නමින් ආරම්භ කර ඇත.

ඒ මගින් 1956 දී විජාතිකගැති සර් ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂය ආසන 6 ට පසු බස්සවමින් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංචමහා බලවේගය ඒකරාශී කර ලැබූ ජයග්‍රහණය ආකාරයේ ජයක් ලැබීම මෙම වැඩසටහනේ සහ ඒ මත ඉදිරියේ පිහිටුවන නව පක්ෂයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරි දිනක 56 වන සේනාංකය නව පක්ෂය ලෙස ලියාපදිංචි කිරීමට නියමිත අතර ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද අනුමැතිය හිමිව තිබේ.

පසුගිය දා හම්බන්තොට පැවති ජන හමුවකදී ද සජිත් ප්‍රේමදාස මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගුණවත්භාවය දැඩි ලෙස වර්ණනා කල අතර එහිදී නව දේශපාලන සන්ධානයක් පිළිබඳව ඉඟියක් තිබූ බවට දේශපාලන ක්ෂේත්‍රය පුරා කතා බහක් ද පැවතිනි.

කෙසේ වෙතත් එරානන්ද හෙට්ටිආරච්චි මහතාගේ මාධ්‍ය අංශයේ ප්‍රකාශකයකු අප සමග ප්‍රකාශ කර සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ද ඉදිරියේදී 56 සේනාංකය සමග එකතුව ජලනි ප්‍රේමදාස ගරු ආර්යාවගේ මග පෙන්වීමෙන් දේශපාලනයට ප්‍රවිෂ්ඨවීමට එකඟතාවයක් ඇති බවයි. 56 වන සේනාංකයේ නිර්මාතෘ එරානන්ද හෙට්ටිආරච්චි මහතා විසින් මේ වනවිට මෙම නව පක්ෂය සහ වැඩසටහන ජනගත කිරීමේ උපක්‍රමික සන්නිවේදන සැලසුම සකස්කරමින් සිටින බව ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *