කවුද මේ ඩෙස්මන් චතුරංග?

ඊයේ දින රාජපක්ෂ ආණ්ඩුව අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග පිළිබඳව මේ වනවිට අන්තර්ජාලය තුළ දැඩි කතා බහක් ඇති වී ඇත. ඇත්තටම කවුද ඔහු. මේ ඒ පිළිබඳව සොයා බැලීමක්.

සැබවින්ම ඔහු සිය මාධ්‍ය භාවිතාව සත්‍ය තොරතුරු ගවේෂණයට සහ වාර්තා කරණයට කැප කල වෘත්තීය ජනමාධ්‍යවේදියෙක්. මාධ්‍ය ක්ෂෙත්‍රයේ සුදුසුකම් සහිත හසල පලපුරුද්දක් ඇති අයෙක්. 2018 – 2019 කාල වකවානුව තුළ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් කළමනාකරු ලෙස කටයුතු කල ඩෙස්මන් චතුරංග ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුහුණු ප්‍රවෘත්ති මාධ්‍යවේදියකු ලෙස ද ශ්‍ රීලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති මාධ්‍යවේදියකු ලෙස ද සිය ජනමාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලදී. 2006 වසරේදී සිරස රූපවාහිනී ආයතනයේ ද එවක ජනාධිපති මාධ්‍ය අංශයට අනුබද්ධ චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවක් වූ ශ්‍රීලක්වාහිනී හි ප්‍රවෘත්ති සහ දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ ඉදිරිපත්කරන්නෙක් ලෙස සේවය කරන ලද චතුරංග අන්තර්ජාතික සොබාදහම් අරමුදල අනුබද්ධ EMECC ආයතනයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එමෙන්ම සියත රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා වල ප්‍රවෘත්ති විධායක සංස්කාරකවරයෙක්, ශ්‍රිලංකා මිරර්, මිරර් ආර්ට්ස්, ශ්‍රිලංකා එක්ස් නිව්ස් සහ ලංකා වේ ඇතුළු වෙබ් අඩවි ගණනාවක සංස්කාරකවරයෙක් ලෙස ඉතිහාසගත කාර්යභාරයක් ඔහු විසින් ඉටුකර ඇත.

එමෙන්ම 2010 ජනරාල් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද 2010 එජාප මහමැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරන ලද චතුරංග lakradio.lk වෙබ් රේඩියෝවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදී.

www.nationtv.lkහි ප්‍රධානියා ලෙස ද lankanewsalerts.com හි උපදේශක කර්තෘ ලෙස ද කටයුතු කරන චතුරංග ජනමාධ්‍ය සංවිධාන ගණනාවක ප්‍රධානත්වය දරනු ලබයි.

ශ්‍රීලංකා වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ශ්‍රීලංකා සුනෙර මාධ්‍ය සංගමයේ සභාපති, ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ ජාතික සම්බන්ධීකාරක, එක්සත් ජනමාධ්‍ය සංසදයේ කැඳවුම්කරු, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ පෙරමුණේ සභාපති සහ වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සම්බන්ධීකාරක යන තනතුරු මේ වනවිටත් හොබවනු ලබන්නෙ ඩෙස්මන් චතුරංග ද අල්විස් විසිනි.

ජනමාධ්‍යවේදය සම්බන්ධ පුහුණුකරුවකු සහ උපදේශකයකු ලෙස ද කටයුතු කරන චතුරංග සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධිදාරියෙකු සහ ශ්‍රීලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ජනමාධ්‍යවේදය පිළිබඳ ඩිප්ලෝමාදාරියෙකු ද වේ.

මේ සා විශාල කාර්යභාරයක් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන ලද ඩෙස්මන් චතුරංග ද අල්විස් මාධ්‍යවේදී සහෘදයා සත්‍යගවේෂණය සහ රාජපක්ෂවාදය විවේචනය කිරීමේ වරද වෙනුවෙන් ඊයේ දින රහස් පොලිසියේ හතරවන තට්ටුවට රැගෙන යන අතර ඔහුව බැලීම සඳහා නීතීඥවරුන්ට අවස්ථාව ලබාදීම ද පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙවැනිම වෘත්තිය නිපුණත්වයෙන් යුතු වෘත්තීය ජනමාධ්‍යවේදීන් වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ආදීන්ට සිදුවූ දේ ඩෙස්මන් චතුරංගට අත්නොවීම සඳහා පෙරට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන අප සියල්ලන්ගේම මේ මොහොතේ උරමත පැටවී ඇති වගකීමක් නොවන්නේද?

92 Comments

1 Trackback / Pingback

  1. කවුද මේ ඩෙස්මන් චතුරංග? - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.